ගැටලූකාරී මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අන්තරෙන් ජනපතිට ලිපියක්

2017.02.11
මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලූ මුවදොර,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

ගැටලූකාරී මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡවක් ලබාගැනීම සඳහා.
මේ මොහොත වන විට මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් සමාජය තුළ බරපතල සාකචිඡුාවක් මතුවී තිබේ. ඒ සඳහා පසුගිය ජනවාරි 31 වන දින සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව සහ පසුගිය කාලය පුරාවට එම ආයතනයට එරෙහිව රටපුරා හටගත් විරෝධතා හේතු විය.
  මාලඹේ සයිටම් ආයතනය යනු උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා අහිමිවන සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදෙන මුවාවෙන් අධ්‍යාපනය මුදලට විකුණා ලාභ ලබාගැනීම සඳහා අරඹන ලද ආයතනයක්ය යන්න අපගේ විශ්වාසයයි. ඒ එම ආයතනය තුල වෛද්‍ය උපාධිය සඳහා අයකරන ලක්ෂ 120ක මුදල උසස් පෙළ සමත් එහෙත් විශ්වවිද්‍යාල සඳහා අවස්ථා අහිමි වන සිසුන්ගෙන් ඉතාමත් සීමිත පිරිසකට පමණක් දැරීමට හැකිවීමයි.ලාභ ලබාගැනීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම ආයතනය ආරම්භක මොහොතේ සිට ම අන්ත දුෂිත ආයතනයක් ලෙස හඳුන්වාදීමට හැකිය.
          අප මෙම ආයතනය ආරම්භ වූ මොහොතේ සිට ම මෙයට විරෝධතා දැක්වූවෙමු. මෙම උපාධි කඩය හරහා රටේ ජනතාවට අධ්‍යාපනය ලැබීම සඳහා  ඇති අයිතියට සිදුවන බලපෑම මෙම විරෝධතා වලට ප‍්‍රධාන හේතුව වූ අතර මෙම ආයතනයේ ප‍්‍රමිතිය සම්බන්ධ ගැටලූ විශාල ප‍්‍රමාණයක් නිර්මාණය විය. ලාභ ඉපයීම එකම අරමුණ කරගත් ආයතනයක ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූ මතුවීම පිළිබඳව ද අප පුදුම නොවෙමු. රටේ ජනතාවගේ ජිවිත සම්බන්ධ තීරණය කෙරෙන සෞඛ්‍ය සේවාවේ ප‍්‍රධාන කාර්යභාරයක් පැවරෙන වෛද්‍යවරුන් බිහිකරන ආයතනයක ප‍්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. එමෙන්ම මෙම උපාධි කඩය හරහා මෙරට නිදහස් සෞඛ්‍ය සේවයටද බරපතල අවධානමක් එල්ල කෙරේ.මෙම කිසිදු කරුණක් නොසලකා පසුගිය ජනවාරි 31 දින සයිටම් ආයතනයේ සිසුන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කල යුතු බවට නියෝගයක් ලබාදී තිබේ.මෙම නඩුවට අදාළ විත්ති පාර්ශවයන්ගෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව හැර අනෙකුත් සියලූ පාර්ශව සයිටම් ආයතනයට පක්ෂව කරුණු දැක්වීම හරහා මෙම නඩු තීන්දුව සයිටම් ආයතනයට පක්ෂපාති තීන්දුවක්ය යන්න අපගේ මතයයි.
        මෙම ආයතනයට අනුබද්ධිත නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන්ද පසුගිය කාලය පුරාවට ගැටලූ විශාල ප‍්‍රමාණයක් නිර්මාණය විය.කවීෂ නම් දරුවාගේ මරණය,ඉරේෂා නමැති තරුණියගේ මරණය,අවසරයකින් තොරව මිනිස් අස්ථි කොටස් ළග තබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙම ගැටලූකාරී තත්වයන් නිර්මාණය විය.
         නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය වනසන මාලඹේ සයිටම් උපාධි කඩය අහෝසි කරන ලෙස බලකරමින් මේ වන විට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව විසින් අඛණ්ඩ සත්‍යග‍්‍රහ 06ක් ක‍්‍රියාත්මක කරන අතර එම ක‍්‍රියාමාර්ගයට මේ වන වසරකට වැඩි කාලයක් ගතවී ඇත. මේ වන විට ලංකාවේ සියලූ වෛද්‍ය පීඨවල සිසුන් පන්ති වර්ජනයක්ද ආරම්භ කර ඇත. එමෙන්ම වෘත්තීිය සමිති බහුජන සංවිධාන දේශපාලන පක්ෂ මෙම අධ්‍යාපනය විකුණන අන්ත දුෂිත ආයතනයට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගනිමින් තිබේ.
            පොදු ජනතාවගේ අයිතියක් බවට පත්විය යුතු අධ්‍යාපනය සෞඛ්‍ය වෙළඳ භාණ්ඩ බවට පත්කරන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය පැහැදිළි කරමින් මින් පෙරද ඔබ තුමන්ට 2016.07.21 දින ලිපියක් යොමු කරන ලදී.එමෙන්ම 2015 ජනවාරි 28 දින අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඔබතුමන්ගේ අවදානය යොමු කල යුතු කරුණු පිළිබඳව දැනුවත් කර යොමුකරන ලද ලිපියේද සයිටම් ආයතනය සම්බන්ධයෙන් සඳහන් කරන්නට කටයුතු කර ඇත.එමෙන්ම මෙම ආයතනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට වගකිවයුතු පුද්ගලයෙකු ලෙස ඔබතුමා සමඟ සාකච්ඡුා කළ යුතු බව අප විශ්වාස කරමු. ඒ සඳහා අප සංවිධානයට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

ස්තූතියි,
මෙයට,
ලහිරු වීරසේකර
කැදවුම්කරු
පිටපත් - සියලූ මාධ්‍ය ආයතන.