එකඟතාවයන් මගහැරීම තුළින් භයානක ප්‍රතිවිපාක ඇතිවෙයි...

ආණ්ඩුව සමග ඇතිකරගත් එකඟතා අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් මාස තුනකට වැඩි කාලයක් පවත්වන්නට යෙදුන අඛණ්ඩ වැඩවර්ජනය පසුගිය සතියේ අවසන් කරන්නට යෙදුණි.
නමුත් එම එකඟතා ඉටුකිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, මෙම වැඩවර්ජනය නැවැත්වීමේදී විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වයට බලපාන චක්‍රලේඛ ඉවත් කරන බවට රජය පොරොන්දු වී තිබෙන නමුත් එම චක්‍රලේඛ ඉවත් කරීමේ සූදානමක් පෙනෙන්නට නොමැති බවත්ය.
එසේම මේ වනවිට ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන් නිසා කිසිදු ගැටලුවක් නොමැතියැයි සිතා කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇතැයිද දේවසිරි මහතා පවසයි. සභාපතිවරයා අවධාරණය කර ඇත්තේ, එකඟතාවයන් මගහැරීම තුළින් භයානක ප්‍රතිවිපාක ඇතිවන බවයි.