ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධව පරීක්ෂණ කරනවා වෙනුවට එම තොරතුරු හෙළිකළ අයව බියගැන්වීමයි ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත...
05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් තිබෙන තොරතුරු ආණ්ඩුව යටගහමින් සිටින බවත් එම තොරතුරු හෙළිකරමින් සිටින අය නිහඩ කිරීමට කටයුතු යොදමින් සිටින බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. මෙයට නිසි විසඳුමක් දෙන තෙක් අප ඊට අරගල කරන බවත් එබැවින් අසාධාරණයට ලක්වූ එම සිසු දෙමව්පියන්ට පෙරට එන ලෙසත් ඔහු පවසයි.
අද (10) දින කොළඹ නිපෝන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ.
5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම දැන් ලංකාවෙම මිනිස්සු දන්න කාරණයක්. එම තොරතුරු ලැබූ අයුරු පවා බොහෝ දෙමවිපියන් හෙළි කරමින් සිටිනවා. ඒ වගේම ලංකා ගුරු සේවා සංගමයෙත් මේ පිළිබඳව පළමුව තොරතුරු සොයා විභාග දෙපාර්තමේන්තුවට දන්වල මේ පිළිබඳව පරීක්ෂණයක් කර වහා විසඳුමක් දෙන්න කියල පැමිණිලි කර තිබෙනවා.
නමුත් දැන් ආණ්ඩුවේ ඇමතිවරුත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කරමින් සිටින්නෙ මෙම ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධව පරීක්ෂණ කරනව වෙනුවට එම තොරතුරු හෙළිකළ අයව බිය වද්දමින් හා එම තොරතුරු ගැන විභාග නොකරමින් කටයුතු කිරීමයි. ආණ්ඩුවේ මාධ්‍ය මගින් වෙනම මාධ්‍ය මෙහෙයුමයක් ගෙනයමින් මෙසේ ප්‍රශ්නයක් සිදු නොවූ ලෙසට මතයක් හදන්න හදනවා. ඒ වගේම ආණ්ඩුවට හිතැති මාධ්‍යවේදීන් යොදාගෙන මේ තොරතුරු හෙළිකළ මා හට අපහාස කරමින් චරිත ඝාතනය කරන්න උත්සාහ කරමින් සිටිනවා. පසුගිය දිනවල ආණ්ඩුවේ පුවත්පත්වල මේ පිළිබඳව පලකරපු ලිපිවලදි පවා මෙම තොරතුරු හෙළිකළ අප වැරදිකරුවන් බවට පෙන්වන්න හදනවා. ආණ්ඩුවේ මේ ක්‍රියාවලිය ඉතාම හාස්‍යජනකයි. ඒ වගේම බරපතලයි.
මේකෙන් පේන්නෙ ආණ්ඩුව මේ හදන්නෙ මේ ප්‍රශ්නෙනුත් පැනලා ගිහින් එහෙම ගැටළුවක් සිදුවෙලා නෑ කියලා කියන්නයි. නමුත් සිසුන්ගේ දෙමව්පියන් බොහෝ දෙනෙක් ප්‍රශ්න පත්‍ර පිටවූ බවට හොඳාකාරවම දන්නවා. ඒ අය එම තොරතුරු දන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා එම තොරතුරු දීලා තියෙනවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනියන මේ බියවැද්දීම් නිසා දෙමව්පියන් පවා අධෛර්යට පත්වෙමින් තොරතුරු දීමට පසුබට වෙනවා. දැන් සිදුවෙන්නෙ ඒකයි.
අද පොලීසිය ශ්‍රී ලංකා පොලීසිය නොවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානෙ පොලීසිය බවට පත්වෙමින් තිබෙනවා. අපි ලබාදීපු තොරතුරු ගැන පරීක්ෂණ හරියාකාරව සිදු නොකර එහෙම දෙයක් සිදුවෙලා නැති බවට පරීක්ෂා කරමින් යනවා. ආණ්ඩුවේ ඇමතිවරු කියන්නෙත් මේ දෙයමයි. නමුත් රටේ ජනතාවට, එම සිසුන්ගේ දෙමව්පියන්ට අපි කියන්නෙ මේ ප්‍රශ්නයට නිසි පිළිතුරක් දෙනතෙක් අපේ අරගලය නවත්වන්නෙ නෑ. ඒ නිසා අධෛර්යට පත්නොවී අප සමග එක්වන්න. ආණ්ඩුව කරන මේ බොරුව නැවැත්වීමට මැදිහත්වෙන්න.’’