සරසවියට සිසුන් ඇතුලත් කල හැකි ප්‍රතිශතයන් අද අධිකරණයට...

නව හා පැරැණි නිර්දේශයන් යටතේ පසුගිය වසරේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් කුමන ප්‍රතිශතයන් අනුව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කළ හැකිද යන්න පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10 වැනිදා) දැනුම් දෙයි.

ඊට අදාළව සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව අනිද්දා (12 වැනිදා) ලබාදෙන බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබාදුන් යෝජනා අනුව සිසුන් 4928 දෙනෙක්‌ වැඩිපුර ඇතුළත් කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පසුගිය සතියේය. එම නියෝගයට අනුව ඒ ඒ පාඨමාලාවන් සඳහා වැඩිපුර ඇතුළත් කළ හැකි සිසුන් සංඛ්‍යා පිළිබඳවද එම කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අද කරුණු ඉදිරිපත් කරයි. 
තරගකාරීත්වයක්‌ පවතින වෛද්‍ය විද්‍යා සහ ඉංජිනේරු විද්‍යා යන උපාධි පාඨමාලාවන්ටද යම් ප්‍රමාණයක්‌ වැඩිපුර ඇතුළත් කර ගැනීමට යෝජනා කෙරෙන බවද වැඩිපුර ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් වැඩි ප්‍රතිශතයක්‌ කලා උපාධි පාඨමාලා සඳහා වෙන් කෙරෙන බවද උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.