රැලිය පිලිබඳ අවිශිබ යෙන් ආචාර්යවරුන්ට ලිපියක්...

28 දින ආචාර්ය පා ගමනත් ශිෂ්‍ය පා ගමනත් කොළඹට ළඟාවීමට නියමිතය. 28 දින ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවත්වන රැලියට සහභාගී වන ලෙස ආචාර්ය සංගමය විසින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෙත දන්වා තිබින.
ඒ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ස්ථාවරය දන්වා යවන ලද ලිපිය පහත දැක්වේ. අප සංවිධානය ඔබ දියත් කළ අරගලයට හැමවිටම සහය පලකළ අතර තවදුරටත් එය එලෙසම පවතිනු ඇත. ඔබ විසින් සංවිධානය කළ පාගමනට අප සම්බන්ධ නොවූයේ හේතු දෙකක් මතය. 


01. ‘‘නිදහස් අධ්‍යාපනය සුරකිමු’’ යන සටන් පාඨය වෙනුවට ‘‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’’ යන සටන් පාඨයට සීමා වීම වරදක් ලෙස අප සලකන බවත්, 

 02. නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා යන පාගමනකට අධ්‍යාපනය විකිණීම, ප‍්‍රතිපාදන කැපීම වැනි කරුණු ප‍්‍රතිපත්තිමය වශයෙන් පිලිගන්නා දේශපාලන පක්ෂ සමග අපට සහභාගී වීම කළ නොහැකි බවත් ය. කෙසේ වුවත් රැලියේ වේදිකාවට කිසිඳු දේශපාලන පක්ෂයක් සම්බන්ධ නොවන බවත්, මේ වේදිකාව තුළ මත දැක්වීමට කිසිඳු දේශපාලන පක්ෂයකට අවස්ථාව නොදීමට තීරණය කළ බවත් ඔබ ඉහත ලිපියේ දන්වා ඇත.

මේ තත්ත්වය තුළ රැලියට සහභාගී වීමට අප තීරණය කර ඇත. එහෙත් ඔබගේ රැලියේ තේමාව ‘‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’’ යන්න නම් එය අප දරන ස්ථාවරය වන ‘‘නිදහස් අධ්‍යාපනය සුරකිමු’’ යන්නට පටහැනි බව අපි දකිමු. යම් හෙයකින් ‘‘නිදහස් අධ්‍යාපනය සුරකිමු’’ යන්නට ඔබගේ තේමාව වෙනස් කළ හැකිනම්, (අප එසේ කරන්න යැයි ඔබට බල නොකරමු) අපට වේදිකාවට සම්බන්ධ වීමත් එහිදි අදහස් දැක්වීමත් කළ හැක. එහෙත් තවදුරටත් ‘‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’’ යන තේමාව යටතේ ඇති වේදිකාවකට අප සම්බන්ද නොවන බවත්, අදහස් දැක්වීම නොකරන බවත්, සියලූ සිසුන් ඔබට සහය දැක්වීම වෙනුවෙන් රැලියට සම්බන්ධ කරන බවත් කිව යුතුය. 
ආචාර්ය අරගලයට ශිෂ්‍ය ව්‍යාපාරය සහය තවදුරටත් හිමිවන බවත් ඔබගේ සටන් පාඨ හා ඔබ ගනු ලබන සමහර කි‍්‍රයාමාර්ගවල ගැටලූත් ඉදිරියේදී යම් විවෘත තලයක සංවාදයකට ගතයුතු බවත් අපි සිතමු. එවැනි සංවාදයකට අපි ඔබගේ සහය ද අපේක්‍ෂා කරමු. විශ්වවිද්‍යාල සිසුන් සමග ‘‘නිදහස් අධ්‍යාපනය සුරකිමු’’ යන්න පදනම් කරගෙන දීර්ඝ පා ගමනක් පැමිණ ‘‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’’ යන සටන් පාඨයට එම මතය දුර්වල කිරීම වරදක් වනු ඇතැයි ඔබද පිළිගන්නවා යැයි අප සිතමු. ‘‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’’, ‘‘නිදහස් අධ්‍යාපනය සුරකිමු’’ යන්නෙහි වෙනසක් තිබේදැයි යමෙක් විමසනු ඇත. එහි බරපතල වෙනසක් ඇත. එම සංවාදය සරසවි තුළත් සමාජය තුළත් කළ යුතු බව අප සිතමු. මෙම ලිපිය ඒ සඳහා අවස්ථාව නොවන වග කිව යුතුය. අවසාන වශයෙන් ආචාර්ය අරගලයට අපගේ දේශපාලන ස්ථාවරයන් පරදුවට නොතබමින් දිය යුතු උපරිම සහය ලබා දෙන බවද ප‍්‍රකාශ කරමු.