පරිපාලනයේ නොහැකියාව හේතුවෙන් ඌව වෙල්ලස්ස සරසවිය වසාදැමේ...

ඌව-වෙල්ලස්ස විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමා තිබේ. එහි උපකුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්ද සිල්වා මහතා පවසා ඇත්තේ විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසාදමන බවය. ඒ අනුව අද (10) පෙ.ව. 8.00 පමණ වනවිට සියලුම නේවාසිකාගාරවලින් සිසුන් ඉවත්විය යුතු බවත් ඊයේ නිවේදනය කර තිබින.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ, කෘෂිකර්ම සහ කළමනාකරණ යන පීඨ තුනම මේ වනවිට දින නියමයක් නොමැතිව වසා දමා ඇති අතර එයට හේතුව ලෙස පීඨාධිපතිවරුන් පවසා ඇත්තේ සිසුන් අසහනකාරී ලෙස හැසිරීම නිසා මෙලෙස විශ්වවිද්‍යාලය වසා දමන බවයි.

නමුත් සිසුන් එවැනි තත්වයකට පත්ව ඇත්තේ පීඨාධිපතිවරු ඇතුළු පීඨ පරිපාලනය විසින් ඉතා අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සාමාන්‍යයෙන් සති 6 ක් පුරා ක්‍රියාත්මක වන විභාග සති දෙකක් තුළ පැවැත්වීමට තීරණය කර තිබීමයි. එම තීරණයට අනුව සිසුන්ට එක දිනයකදී විෂයන් 3 ක් හෝ 4 ක් ලිවීමට සිදුවී ඇත. මෙය සිසුන්ට මහත් පීඩාවක් ගෙන දෙන්නක් මෙන්ම සිසුන් අසහනකාරී තත්වයකට ඇද දැමීමකි.
පරිපාලනයේ මෙම තීරණයට එරෙහිව සිසුන් තමන්ගේ විරෝධය ප්‍රකාශ කර ඇත. පරිපාලනයට එම විරෝධතාවට මුහුණදීගත නොහැකිව විශ්වවිද්‍යාලය වසාදමා තිබේ. එහි පීඨාධිපති වරුන්ගේ ආකාර්යක්ෂම තාවයත් පරිපාලනයේ අසමත්කම සහ දරදඬු තීරණවලට එරෙහිවත් සිසුන් තම විරෝධය දිගින් දිගටම දක්වමින් සිටී.