‘‘රක්නා ලංකා’’ රක්නා උරුමය හා අප රක්නා උරුමය.


මෙහි අප ලෙස හදුන්වා ගත්තේ නූතන ශිෂ්‍ය ව්‍යාපාරයයි. ‘‘රක්නා ලංකා’’ ලෙස හැදින්වූයේ පසුගිය මාසයේ සිට ලංකාවේ විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සඳහා මැදිහත් කරගෙන තිබෙන සරසවි අරක්ෂක අංශයයි. නිශ්චිත ටෙන්ඩර් පටිපාටියෙන් පවා බැහැරවෙමින් කෝටි පනහක පමණ ජනතා මුදල් කාබාසිනියා කරමින් සරසවි තුළට වැද්දාගෙන ඇති මෙම ‘‘රක්නා ලංකා’’ රකින උරුමය සහ අප රකිනා උරුමය පිළිබඳ මෙරට ජනතා දැනුවත් කිරීම මෙහි අරමුණයි. 
ඒ සඳහා  මෙරට ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඉහළින්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යයක් වන ඔබලාගේ මධ්‍ය තුළ මෙය පළකරන මෙන් පළමුවෙන්ම රුහුණ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ලෙස අප ඉල්ලා සිටිමු.
සරසවි තුළට සිදු කරන මිලිටරිමය මැදිහත්වීම් ගැන අද අපේ රටේ අලූත් සාකච්ඡවක් ආරම්භ කළ යුතුව ඇත. වත්මන් උසස් අධ්‍යාපන ඇමති එස්.බි දිසානායක මහතා අධ්‍යාපන ඇමති ලෙස දිව්රුම් දුන්නේ වත්මන් ආණ්ඩුවේ ආශ්චර්යමත් සංවර්ධන වැඩපිළිවෙලෙහි අධ්‍යාපනයට, විශේෂයෙන් උසස් අධ්‍යාපනයට අදාල කොටස ඉටු කිරීමේ පොරොන්දුවෙනි. එදා එතුමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන්ගේ ආශිර්වාදාත්මක පැසසුම් මැදින් දිව්රුම් දුන්නේ ඊට අදාල තමාට පැවරුන කාර්යභාරය වූ ‘‘පෞද්ගලික විශ්වවිද්‍යාල’’ කෙසේ හෝ ආරම්භ කරන බව සපථ කරන ප‍්‍රකාශයත් සමගිනි. මේ සමගම සමාජය තුළ කාලයකට පෙර යටපත් කර දමා තිබූ ‘‘පෞද්ගලික විශ්වවිද්‍යාල’’ පිළිබඳ සංවාදය නැවත මතු විය. එදා පළමුවරට අසුව දශකයේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සමග ඇරඹි මෙහි පළමු අදියර අවසන් වූයේ වෛද්‍ය සිසුන් පමණක් 120 කගේ ජීවිත පරිත්‍යාගයන් මැද රාගම වෛද්‍ය පීඨය ලෙස එය ජනතා අයිතියට  පත් වීමත් සමගිනි. අද මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කර ඇත. තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 9 කට මේවන විට ප‍්‍රතිපාදන කොමිසමේ අනුමැතිය පිරිනමා ඇත. 
මෙසේ උසස් අධ්‍යාපන ඇමතිතුමා විසින් ‘‘පෞද්ගලික විශ්වවිද්‍යාල’’ යන දෙබරයට පළමු ගල් පහර එල්ල කරන ලදී. දෙබරය නැවතත් ඇවිස්සිනි. කෙසේ නමුත් වැඬේ එතරම් ලෙහෙසි වූයේ නැත. අදත් ‘‘පෞද්ගලික විශ්වවිද්‍යාල’’ ගැන සමාජය තුළ සංවාදයක් ඇත. ආණ්ඩුව ‘‘පෞද්ගලික විශ්වවිද්‍යාල’’ යථාර්තයක් කිරීමට සිය සමස්ථ අධිපතිවාදී මාධ්‍ය ජාලය මේ වන විට භාවිතා කරමින් සිටී. සිය සමස්ථ රාජ්‍ය බලය, විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, පොලිසි, හිරගෙවල්, මේ සකලවිධ ධනේෂ්වර යාන්ත‍්‍රණයන්ම යොදාගනිමින් සිටී.  එදා ජේ.ආර්. යුගයේ දී මෙන් සිසුන් මිය නොගියත් අද එම් ආර් යුගයේ දී සිසුන් නොමරා මරමින් සිටී. අද සරසවි තුළ ඉගනීමේ නිදහසට බරපතල බාධාවන් එල්ල වී ඇත. අපගේ රුහුණ විශ්වවිද්‍යාලයේ ගත් විට මේ තත්ත්වය පැහැදිළි කිරීමට  ඕනෑතරම් උදාහරණ ඇත.
සිසුන් බන්ධනාගාරගත කිරීම්, පන්ති තහනම් කිරීම්, බාහිර මැරයන් යොදා කරන පහරදීම්, පොලිස් පහරදීම්, මේවා අද සරසවි සිසුන්ට සාමාන්‍ය දේවල් වී ඇත. ඒ තරමට මෙම මර්දනය සාමාන්‍යකරණය වී ඇත. උදාහරණ ලෙස දක්වතොත් පසුගිය වසරක හමාරක පමණ කාලය තුළ සිසුන් පමණක් නොව සිසුවියන් ද බන්ධනාගාරගතකොට ඇත. මේ කාලය තුළ රුහුණ සරසවියේ පමණක් සිසු සිසුවියන් 18 දෙනෙක් දින 167ක් විවිධ අවස්ථාවල බන්ධනාගාර ගතවී සිට ඇත.


අත්අඩංගුවේ සිටි සිසුන් ගණන
දින ගණන
අත්අඩංගුවේ සිටි සිසුවියන් ගණන 
දින ගණන
16
162
02
05



පන්ති තහනම් කිරීම් අතර, පසුගිය කාලය තුළ රුහුණ සරසවියේ පමණක්  පන්ති තහනම් කිරීම් අවස්ථා 53ක් දැකගත හැකි විය. තවද සිසුන්ට සිසුවියන්ට පමණක් නොව ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාට බාහිර මැරයන් විසින් පහරදුන් අවස්ථා 8ක් දැකගත හැකිය. සුසන්ත බණ්ඩාර සොයුරාගේ ඝාතනය සිදුවන්නේ මේ සියලූ මර්දනයන්ගේ කූට ප‍්‍රාප්තිය ලෙසය. 
මේ සියලූ මර්දනයන් මැදින් අද වන විට මතුවී ඇති තත්ත්වය තවත් භයානක වී ඇත. අප මේ දැනුවත් කිරීම කරන්නේ මේ පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමටය. 
අප ලිපියේ මුලින් සඳහන් කළ පරිදි මේ වන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව ‘‘රක්නා ලංකා’’ වෙත බාර දී ඇත. සිසුන් ලෙස අප මෙය දකින්නේ අන් කිසිවක් ලෙස නොව සරසවි තූලට කෙරෙන අනවශ්‍ය මිලිටරිමය මැදිහත්වීමක් ලෙසය. මේ දිනවල නවක සිසුන් විශ්වවිද්‍යාලයට බඳවාගනිමින් සිටී. සරසවි පරිපාලනය පසුගිය 22වන දින නවක සිසුන් හා හමුදාව යොදා සරසවියේ මඩ වලක් සුද්ද කිරීමේ ශ‍්‍රමදානයක් සංවිධානය කර තිබුණි. හේතුව ලෙස ගෙන හැර දක්වා තිබුනේ ‘‘හමුදාව සමාජගත කිරීම’’ යන තේමා පාඨයයි. සරසවියේ පිළිසකර කටයුතු ස`දහා ලක්‍ෂ ගණන් මුදල් ගෙවා නඩත්තුකරන පිළිසකර කිරීමේ අංශයක් තිබියදී මේ අසරණ පොඩිඑවුන් මඩ වලවල් වලට බස්සන්නේ කවර උවමනාවකටදැයි අප පරිපාලනයෙන් ප‍්‍රශ්න කළෙමු. අනෙක් පසින් හමුදාව සමාජගත කිරීමට යැයි කියමින් සරසවි තුළට හමුදාව වැද්දාගන්නේ කුමකටදැයි යන්න නොතේරීමට තරම් සරසවි සිසුන් හෝ මෙරට ජනතාව බබාල නොවන බව පරිපාලනය මෙන්ම ආණ්ඩුව ද දැනගත යුතුය. සිසුන් ආචාර්යවරුන් සේවකයන් මේ සියලූදෙනා එක්ව උක්ත ශ‍්‍රමදාන ප්‍රෝඩාවට එරෙහිව පාරට බැස්සේ ඒ හෙයිනි.  අද මේ ආණ්ඩුව යන ගමන කාටත් පැහැදිළිය. මේ සියල්ලේ සැබෑ උවමනාව අන් කිසිවක් නොව ජයවර්ධන යුගයේ සිසුන්ගේ මළකඳන් මතින් යථාර්තයක් කරගත නොහැකි වූ අධ්‍යාපනය විකුණාගෙන කෑමේ උවමනාව, අද සිසුන් විශාල ප‍්‍රමාණයක් බන්ධනාගාරගත කොට හෝ පංති තහනම් කොට ඉටුකරගත නොහැකි තැන, මේ උත්සාහ කරන්නේ සරසවි උපසංස්කෘතිය විනාශ කොට සිසුන්ට එකතුවීමට ඇති අවස්ථා අහිමිකර සරසවි සිසුන් මෙතෙක් සරසවි තුළ විදි නිදහස අහිමි කර ඔවුන් සරසවිතුළ සිරකරුවන් කර ඉටු කරගැනීමටය. 
පසුගිය නොවැම්බර් දෙවන දින රාත‍්‍රියේ මැද්දවත්ත පිරිමි නේවාසිකාගාරයේ ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවූ පරිදි සෑම මහළකටම ඉහත ‘‘රක්නා ලංකා’’ ආරක්ෂක අංශය මැදිහත් කිරීමට ගත් උත්සාහය ද මෙකී උවමනාවෙම තවත් පියවරක් ලෙස දැක්විය හැක. මෙහිදී අවධානය යොමු කළ යුතු ප‍්‍රධාන කාරණය වන්නේ මේ මැදිහත්වීම පිළිබඳ නියෝජ්‍ය උපකුලපතිතුමාවත් නොදැන සිටීමය. අද සරසවිය ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ පාරාදීසයක් වී ඇත. මේ නිසාම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට අද ළමුන් මුර කිරීමට සිදු වී ඇත. පසුගිය දිනක විශ්වවිද්‍යාලයේ ආපනශාලාවතුළ මෙලෙස සිසුන් හා ආචාර්යවරුන් එකට සිටියදී එකවර ආරක්ෂක අංශය කඩා පැන්නේ ආපනශාලාව තුළ නවක වදය දෙන බවට උපකුලපතිතුමාට ලැබුණු දුරකතන ඇමතුමක් නිසාවෙනි. නමුත් එහිදී එවැනි කිසිවක් සිදු නොවූ බව එහි සිටි ආචාර්යවරුන්ට පවා දැකගත හැකි විය. මෙවැනි කඩාවැදීම් නිසා සිසුන් මෙන්ම ආචාර්යවරුන් ද බලවත් අපහසුතාවයට පත් වී ඇත. පසුගිය කාලයේ ජයවර්ධනපූර විශ්වවිද්‍යාලයේ පිහිනුම් තටාකය අසල කතා කරමින් සිටි සිසුන් හතර දෙනෙක් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කරනවා යැයි කියා උපකුලපතිතුමා විසින් පොලිසියට රැගෙන ගියා වැනි සිදුවීම් ඉදිරියේදී රුහුණ විශ්වවිද්‍යාලයෙන් ද වර්තා වූවහොත් මේ පවතින තත්ත්වය තුළ එය අරුමයක් නොවනු ඇත. අද නේවාසිකාගාරයේ සිසුන්ට කාමරයකට වී සිංදුවක් කියන්නටවත් අවස්ථාවක් නැති වී ඇත. එසේ ශබ්දයක් ඇසුන සැනින් නේවාසිකගාර පාලකයාට දුරකතන ඇමතුමක් ලැබේ. ඒ නේවාසිකාගාරය තුළ අහවල් කාමරයේ නවක වදය දෙන බවටය. ඒ තරම් අද සිසුන්ගේ කතා කිරීමේ නිදහස පවා අහිමි වී ඇත. මේ අතර සරසවිය තුළ අද අමුතුම සිදුවීම්ද සිදුවෙමින් පවතී. පසුගිය දිනක උදෑසන සරසවියට පැමිනි නවක සිසුවෙක් ආපනශාලාව ඉදිරිපිටට විත් ආචාර්යවරුන් හා සිසුන් මෙන්ම ආරක්ෂක අංශ බලා සිටියදීම කළහකාරීලෙස එහි සිටි ජේ්‍යෂ්ඨ සිසුන්ට තර්ජනය කළේය. අද සරසවිය තුළට එවැනි චන්ඩින් ද රිංගා ඇත. සරසවි ආරක්ෂක අංශයේ සම්පත් සියල්ලම අද ‘‘රක්නා ලංකා’’හි පෞද්ගලික දේපල වී ඇත. අද සරසවි ආරක්ෂක අංශය පමණක් නොව විශ්වවිද්‍යාල පරිපාලනය ද අබිභවා ‘‘රක්නා ලංකා’’ මතු වී ඇත. පරිපාලනයට හදිසියේ ඉහළින් ලැබෙන දුරකතන ඇමතුම් හා ඉහත සඳහන් කළ පන්නයේ චන්ඩින් ඉදිරියේ පරිපාලනයේ ඇති නිහැ`ඩියාවත් කියාපාන්නේ සරසවි මිලිටරීකරණය කිරීම හරහා සිසුන් මර්දනය කිරීමේ ආණ්ඩුවේ උවමනාව මිස අන් කිසිවක් නොවේ. නවක සිසුන් හමුදා කඳවුරු තුළ දමාගෙන පසුගිය කාලයේ සිදුකළේ අන් කිසිවක් නොව මෙකී හමුදා පාලනය සඳහා සිසුන්ගේ මනෝභාවයන් සැකසීමත් මේ සඳහා අවශ්‍ය කුමන්ත‍්‍රණකරුවන්, ඔත්තුකරුවන් සරසවි සිසුන් සමග සරසවියට එවීමට අදාල පුහුණුකිරීම් සිදුකිරීමත් බව දැන් පැහැදිලිය. පසුගිය මාසයේ ඌව විශ්වවිද්‍යාලයේ පැවති ජේ්‍යෂ්ඨ සිසුන්ට නායකත්ව පුහුණුව ද අන් කිසිවක් නොව මෙම ව්‍යාපෘතියේම කොටසක් බව පැහැදිලි වන්නේ මෙයට සහභාගී වූවන් කවුරුන්ද ඔවුන් තෝරාගත්තේ කුමන පදනමක් මතද  යන කිසිවක් පිළිබ`ද හාන්කවිසියක් කිසිම සරසවි සිසුවෙක් හෝ ආචාර්යවරයෙකු නොදැන සිටීමෙන්ය. සිසුන්ට වසර 6කින් වැඩිනොකළ සොච්චම් මහපොළ ශිෂ්‍යධාරය වැඩි කිරීමට, ආචාර්යවරුන්ට වැටුප් වැඩි කිරීමට, සරසවියට අලූත් දේශනශාලා නේවාසිකාගාර පරිගනක ආදී අනේකවිධ පහසුකම් ලබා දීමට තඹ සතයක් නැතයි කියා උපාධිය කුණු කොල්ලයට විකිණීමට කටයුතු කරන පාලකයන්ට, හමුදාව යොදා සිසුන්ට විනය කියා දී ‘‘Yes Sir’’ කීමට ඉගැන්වීමටත් කෝටි පනහක සරසවියේම මුදල් යොදා ‘‘රක්නා ලංකා’’ නමින් වු ආරක්‍ෂක සමාගම නඩත්තු කිරීමටත් මුදල් තිබීම පුදුම සහගතය.
අද මෙහි පවතින සමහර තත්ත්වයන් පාලනය කිරීමට යාමේදී සරසවි පරිපාලනයට එල්ලවන බාහිර බලපෑම් ද ඉතා ඉහළ ගොස් ඇති බව නොකියා බැරිය. එයින්ම මේ තුළ ඇති භයානකකම ඔබට වැටහෙනවා ඇත. ඉහත ‘‘රක්නා ලංකා’’ නිසා සරසවි පරිපාලනය ද අද ඉතා අසරණ තත්ත්වයකට පත්වී ඇති බව අපට පැහැදිළිය. නමුත් පරිපාලනය එම පීඩනයත් අද පිට කිරීමට සූදානම් වන්නේ සිසුන් මතිනි. තමන්ට එල්ලවන බාහිර බලපෑම් වලට කොන්ද කෙලින් තබාගෙන ක‍්‍රියාත්මක වීමට අසමත් පරිපාලනය සැමදාම කලේ පහත් තැනින් යයි ගලා ජලේ යන කියමනට අනූව සිසුන් මතින්ම මේ සියලූ පවු සෝදා දැමීමට සියලූම වැරදි සිසුන් පිට පටවා ආණ්ඩුවේ මර්දනයට සහයදී තම පැවැත්ම තහවුරු කරගැනීම පමණි. 
මේ සියල්ල හමුවේ රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙසත් සමස්ත සරසවි සිසුවන් වෙනුවෙනුත් කීමට ඇත්තේ සුදුබණ්ඩා දිසානායක ඇමතිතුමාගේත්, ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාගේත් වත්මන් කොල්ලකාරී නව ලිබරල්වාදී ධනවාදයේත් උරුමයන් රැුකීමට ආණ්ඩුව ‘‘රක්නා ලංකා’’ යොදාගනිමින් සරසවි සිසු ජීවිත අද අනතුරේ දමා ඇති බවයි. ඊට එරෙහිව නිදහස් අධ්‍යාපනය සුරැකීමේ අපේ උරුමය වෙනුවෙන් කොන්දේසි විරහිතව අද සිසුන් පමණක් නොව සමස්ත අචාර්යවරුන් හා සේවකයන් ද ඇතුලූ සරසවි ප‍්‍රජාව පෙළ ගැසෙමින් සිටින බවයි. මෙරට ජනතාව ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ අන් කිසිවක් නොව මේ පිළිබඳ අවදියෙන් සිට දැනුවත්ව ආණ්ඩුවේ මෙම මිලිටරිමය මැදිහත්වීම් නතරකර නිදහස් අධ්‍යාපනයත් සිසු ජීවිතත් බේරා ගැනීම සඳහා ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය සමග පෙළගෑරසන ලෙසය.  

1 comment:

  1. මෙහි ප්‍රධාන පරමාර්ථය හා සැඟවුනු පරමාර්ථ යන ද්විත්වාකාර ක්‍රියාන්විතයක අග්‍රඵලයක් විදියට තමයි මේ අමතර ආරක්ෂක අංශය අනුයුක්ත කරන්නේ. ඔවුන්ගේ කාර්යයන්,වගකීම් හා වාර්තාකල යුත්තේ කාටද යන කාරණා කිසිම දෙයක් පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තියක් හෝ ක්‍රමවේදයක් නෑ. එබැවින් අපට නිගමනය කල හැක්කේ මෙය හුදෙක්ම ශිෂ්‍ය එකතුවීම් වැලැක්වීම හා සරසවි උප සංස්කෘතිය තුල ශිෂ්‍යයාගේ භූමිකාවට බලපෑම් කිරීමට යොදන ලද උපක්‍රමයක් ලෙසින් පමණි.

    ReplyDelete