ආණ්ඩුවේ අඥ්ඥකොරොස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය.

පසුගියදා සුදුබණ්ඩා දිසානායක වත්මන් උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇතුලූ වත්මන් ආණ්ඩුව සරසවි ප‍්‍රවේශය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ප‍්‍රකාශ කරනු අප දුටිමු.ඒ සරසවි ප‍්‍රවේශයෙන් 5%ක අවස්ථාවක් විදෙස් සිසුනට ලබා දීමට ගත් තීරණයයි.එහිදී එතුමා එය ගෙන හැර දැක්වූයේ ලංකාවේ සරසවි ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමේ පියවරක් ලෙසය.
අපට පෙනී යන ආකාරයටනම් එතුමන් මෙම හා ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබෙන්නේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල යන්න වචනාර්ථයෙන් පමණක් තේරුම්ගෙන බවය.
ජාත්‍යන්තරයේ සිසුන් සිටි පමණින් විශ්වවිද්‍යාල ජාත්‍යන්තර වන්නේ නැති බව අප නම් දනිමු. මක්නිසාද යත් ලෝකයේ පිළිගත් එවැනි විශ්වවිද්‍යාල එම ප‍්‍රමිතියට ගෙන ඒම සඳහා තව බොහෝ දේ ගැන එම සරසවි බලධාරීන් අවධානය යොමු කර ඇත.ඒවායේ සිසුනට ලබා දෙන පහසුකම් ආචාර්යවරුන්ට දෙන පහසුකම් විෂය මාලා නවීකරණය ඇතුලූ කරුණු විශාල ප‍්‍රමාණයක් මේ අතර ඇත. ඇමතිතුමා ඇතුලූ ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාල බවට ලංකාවේ විශ්වවිද්‍යාල පත්කිරීමේ උවමනාවක් තිබේ නම් සරසවි ආචාර්යවරුන්ට මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු නොවනු ඇත.එසේම එවැනි වෘත්තිය අරගලයකට විවිධ අවලාද නගමින් අචාර්යවරුන්ට නිග‍්‍රහ නොකරනු ඇත.
අනෙක් අතට සිය අධ්‍යාපන පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලා සිසුන්ට මහ මගට බැසීමට අවස්ථාවක් නොතබා සිසුනට ත‍්‍රස්තවාදී ලේබලය අලවා තම නිරුවත වසා ගැනීමට අසරන සිසුන්ගේ පංති තහනම් නොකරනු ඇත.සිසුන් සිරගෙවල් වලට නොයවනු ඇත. මේ සියල්ල කර එය මහා හපන්කමක් ලෙස පුරාජේරු නොකියනු ඇත.
තවද සිසුන්ට හමුදාව ලවා හැඳි ගෑරුප්පුවලින් කෑමට පුරුදු කිරීමට පෙර එවැනි කෑමජාති මිලදී ගැනීමට හැකි වන ලෙසත් අඩුම තරමින් තුන් වේලවත් කෑමට හැකි පරදී වසර පහකින් වැඩි නොකළ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරනු ඇත.සිසුන්ට රූපලාවන්‍ය ගැන කියා දීමට පෙර අඩුම තරමින් සාමාන්‍ය ඇදුමක් පැළදුමක්වත් ඇඳ යන්තම් විලි වසා ගැනීමට හැකි ක‍්‍රමයක් සලසා දෙනු ඇත.හමුදාව ලවා ඝන සරඹ කිරීමට ගොස් සිසුවියන් අබ්බගාත කිරීමට පෙර ලංකාවේ එකම ක‍්‍රීඩා උපාධිය ලබා දෙන සබරගමුව සරසවියට ක‍්‍රීඩා පිටියක් ලබා දෙනු ඇත.මේ සියල්ල තිබියදී අඩුම තරමින් සරසවියට ගොස් උපාධිය හැදෑරීමේ දී අනිවාර්යයෙන් ලිවීමට සිදුවන නිබන්ධන ආදිය සඳහා තොරතුරු ඇතුලත් පොත් පත් සරසවි පුස්තකාලවලට ලබා දෙනු ඇත. දැනට මේවාට අවශ්‍ය තොරතුරු සෙවීමට සිසුන්ට හතර කොනේ දිවීමට සිදු වී ඇත.

සිසුන්ට සිසුවියන්ට ආදරේ කිරීමට ඇමතිතුමා කියන පරදි පිටරට චොයිස් ලංකාවට ගෙනීමට පෙර ලංකාවේ සරසවි වල සිසුසිසුවියන්ට සරසවිය තුල නිදහසේ කතා බහ කරමින් සිටීමටවත් ඉඩ කඩක් තිබිය යුතුය.එසේ සිටින විට සිසුවියන්නම් කන්‍යාභාවය පරීක්ෂා කිරීමටත් සිසුන් නම් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ කරනවා යැයි පොලිසියට දක්කාගෙන යන උන්මත්තකයන් උපකුලපතිවරුන් ලෙස පත් නොකරනු ඇත. හමුදා කඳවුරු වලදී සිසුසිසුවියන් සතුටින් සිටි බව පෙන්වීමට වෙනම වැඩසටහන් සකසා ඒවා සඳහා පැය ගනනක විකාශන කාලසීමාවන් වෙන් කර රූපවාහිනියේ පෙන්වීමට දෙන අවස්ථාවම සෑම වසරකම සෑම විශ්වවිද්‍යාලයකම පැවැත්වෙන සිසු සිසුවියන්ගේ අනේකවිධ කලා සංස්කෘතික කටයුතු පෙන්වීමටත් ලබා දෙනු ඇත.අඩුම තරමින් සිසුසිසුවියන්ට එවැනි කලා සංස්කෘතික කටයුතු කිරීමට නිර්මාණය කර ඇති ශාලාවන් දේශන ශාලා නොකරනු ඇත.දැනට කැලණියේ රුහුණේ දේශන ශාලා හිගකමින් එවැනි ශාලා දේශන ශාලා බවට පත් කර ඇත.සිසුන් තම සංස්කෘතික කටයුතු සඳහා භාවිතා කළ ස්ථානයන් විනාශ නොකරනු ඇත.උදාහරණයක් ලෙස කැලණිය සරසවියේ සුප‍්‍රසිද්ධ තෙල් බැම්ම මේ වනවිට කඩාබිඳ දමා ඇත. රුහුණේ සිසුන් භාවිතා කළ මෙවැනි කොරිඩෝවක් පරිඝනක මධ්‍යස්ථානයකට යැයි කියමින් වසා දමා වසරකටත් වඩා කල් ගතවී ඇතත් මේවන තරුත් එහි පරිගනක විද්‍යාගාරයක් නැත.අනෙකක් තබා සංවාද විවාද ආදී නොයෙක් කටයුතු සඳහා ශාලා වෙන් කරගැනීමටගිය විට අවසර ලබා ගැනීමට පොත් ගනන් කොල පිරවීමට ශිෂ්‍ය සංගම් වලට සිදු වී ඇත.
තවද විද්‍යා විශයන් හදාරන සිසු ප‍්‍රතිශතය 100%කින් වැඩි කරනවා යැයි පාරම්බෑමට පෙර සරවිවල විද්‍යා පීඨයන්ට හාල්වල ආසනික් සෙවීමවැනි විද්‍යාත්මක පර්යේෂණයන්ට දෙවියන්ගේ පිහිට නොසොයා විද්‍යාව විශ්වාස කරන පීඨාධිපතිවරුන් පත් කරනු ඇත.වසර ගනනකින් ලබා දී නැති විද්‍යා උපකරණ ඒවාට ලබා දෙනු ඇත.විෂය මාලා නවීකරණය කරනු ඇත.සිසුන්ට ඉංග‍්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දිය යුතු යැයි කියන ජාත්‍යන්තරවාදී අධ්‍යාපන බලධාරීන් හා ආණ්ඩුව පසුගිය කාලයේදී අධ්‍යාපන අමාත්‍යංශය මගින්ම කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ පරිදි දුටුගැමුණු යන වචනයවත් සිංහලෙන් ලියා ගැනීමට නොහැකි වූ පාසල් 10 වැනි වසර සිසුන්ගේ සිංහල භාෂා දැණුම වැඩි කිරීමට පිළියම් යොදනු ඇත.
අප විශ්වාස කරන ආකාරයට නම් සිසුන්ගේ නායකත්වය වේවා ඉංග‍්‍රීසි දැනුම වේවා මේ සියලූ දේ සරසවිය තුළ සෑදිය නොහැක සැබැවින්ම මේවා සෑදිය යුත්තේ පාසල් අධ්‍යාපනයේදී ය අඩුම තරමින් මේ සඳහා සිසුන්ගේ පෙළපොත් හරියාකාරව සකස් කළ යුතුය ඒවා කලට වෙලාවට ලබා දිය යුතුය.විභාග හරියාකාරව පැවැත්විය යුතුය. පසුගිය වසරක සා/පෙළ සිසුන්ට ගණිතය ප‍්‍රශ්ණ පත‍්‍රයට දෙවරක් මුහුණ දීමට සිදු විය.සිසුන්ගේ පෝෂණයට ආණ්ඩුවෙ දෙනවා කියු පෝෂණ මලූ ලබා දිය නොහැකි නම් අඩුම තරමින් දෙමාපියන්ට අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීමට සිදුවන අමතර මුදල් ඉතිරි කර ඒවායින් දරුවාට හොඳ කෑම වේලක් ලබා දිය හැකි පරදි දරුවෙකු පාසලට ඇතුලත් වීමේදී ගෙවීමට සිදු වෙන ඩෙස් පුටුවල තීන්ත ගෑමේ වියදම් ඇතුලත්වීමේ ගාස්තු සමහර පාසල් වල විදුලි බිල,වතුර බිල ආදී අනේකවිධ මුදල් අයකිරීම් නැවැත්වීමට හැකි පරදි අධ්‍යාපනයට මුදල් වෙන් කළ යුතුය.නමුත් සිදුවන්නේ අනෙකකි,පසුගිය 2010 වසරේදී පලාත් සභා පාසල් සඳහා රුපියල් මිලියන 4137 වෙන් කළ ආණ්ඩුව 2011 දී වෙන් කරන්නේ රුපියල් මිලියන 2004 ක් පමණි.
මේ නිසා සැබැවින්ම සිදු විය යුත්තේ කටින් ජාත්‍යන්තර බතල සිටුවනවා වෙනුවට සැබැවින්ම ශ‍්‍රී ලංකාව ආසියාවේ දැණුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට නම් එක්සත් ජාතීන් විසින් නිර්දේශ කර ඇති අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කළ යුතු 6% ලබා දීමය.එවිට සිසුන්ට ගුරුවරුන්ට ආචාර්යවරුන්ට මේ සියලූ දෙනාටම අවැසි පහසුකම් සලසා දිය හැකි වනු ඇත.ලෝකයේ ඉතාම දුප්පත් රටක් වන ඉතියෝපියාව පවා අධ්‍යාපනයට 4% ක් වෙන් කරන විට අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන්නේ 2%ටත් අඩු ප‍්‍රමාණයකි ඉතින් මෙවැනි සොච්චමකින් ආසියාවේ දැණුම සමග අපට තරග කළ හැකි යැයි සිතනවානම් එයද ආශ්චර්යයක් වනු ඇත.
තවද එවැනි අභියෝගයකට තරග කළ හැකි ළමුන්ගේ පෞර්ෂය සෑදීම රටක හමුදාවට කිරීමට හැකි කාරණයක් නොවේය. ඒ වෙනුවට සමස්ථ අධ්‍යාපනය පුරාම විසිරී යන පරිදි සිසුන්ගේ පෞර්ෂය වර්ධනය කිරීම සඳහා ප‍්‍රතිපත්ති සකස් කළ යුතුය.
එංගල්ස් ප‍්‍රකාශ කළ පරදි පෞර්ෂය යනු මානුෂික හරයයි. එය එක් එක් අයෙකුට ආවේනික වියුක්තියක් නොව ඔහුගේ සමාජ සම්බන්ධතා වල සමස්ථයයි.
නමුත් වත්මන් අධ්‍යාපනය තුළ ඇති අතිශය තරගකාරීත්වය තුළින් සිදු වන්නේ සහ සිසුන් යොමු කරන්නේ සාමූහික සමාජ සම්බන්ධතා වලට නොව ආත්මාර්ථකාමී හුදකලාකිරීම් වෙතටය. අවම මට්ටමකින් හෝ මෙවැනි සාමුහික ක‍්‍රියාකාරීත්වයක් මෙතුමක් කල් අඩුපාඩුකම් මැද්දේ වුව පැවතුනේ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළය.ඒය ගොඩ නැගුනේ සිසුන්ට හමුදා පුහුණු දීමෙන් නොවේ.ඉතිහාසය පුරාවට ඔවුන් අතර ගොඩනැගුනු සාමූහික ක‍්‍රියාකාරීත්වය මගිනි.එම නිසා සරසවි උප සංස්කෘතියෙන් එම පාඩම් අවශ්‍යනම් ඉගෙන ගන්නා ලෙස අප ආණ්ඩුවට ආරාධනා කරන්නෙමු.වත්මන් පාලකයන් සරසවි මුදා නොගත් ප‍්‍රදේශ ලෙස නම් කරන්නේ ඔවුන්ට කිසිදා නොතේරෙන තේරුම් ගැනීමට උත්සහයක්ද නැති දැනට ඔවුන්ගේ ප්‍රෝඩාකාරී පැවැත්මට ප‍්‍රධාන බාධාවක් ලෙස පමණක් තේරුම් ගෙන ඇති මේ කියන සරසවි උප සංස්කෘතියයි.ඒ නිසා ඔවුන්ට පිටස්තර මුලූ මහත් සමාජය වෙතම එල්ල කර පත්වාගෙන යා හැකිව තිබෙන හෙජමොනික ආධිපත්ය සරසවි සිසුවා වෙත මුදා හැරීමට නොහැකි වී ඇත.ඒ නිසා ආණ්ඩුවට සැබැවින්ම අධ්‍යාපනය සඳහා පවතින අඥ්ඥකොරොස් මුල මැද නොගැලපෙන අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වෙනුවට සැබෑ අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සඳහා ප‍්‍රවේශයක් ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මේ රටේ බුද්ධිමතුන්ගේ සහයෙන් නිමවා මෑතදී එලි දක්වන ලද ‘‘අධ්‍යාපනයේ සම අයිතිය සුරකින ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියකට ප‍්‍රවේශ්‍යක්’’ යන කෘතියෙන් ඒ සඳහා ප‍්‍රවේශ විය හැක.
අධ්‍යාපනය සෑම දරුවකුගේම අයිතියකි.නිදහස් අධ්‍යාපනයක් අපේ රටේ කි‍්‍රියාත්මක වූ නිසා අධ්‍යාපනයේ සම අයිතිය යම් පමණකට හෝ මෙතෙක් කලක් සුරක්ෂිතව තිබුණි.එහෙත් විවිධ හේතු දක්වමින් නිදහස් අධ්‍යාපන අයිතිය දැයේ දරුවන්ගෙන් උදුරා ගැනීමට පාලකයෝ නිරතුරුව කටයුතු කරති.ඊට ප‍්‍රතිපක්ෂව නිදහස් අධ්‍යාපන ක‍්‍රමය අනාගත පරපුර වෙනුවෙන් සුරැකිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳවත් නිදහස් අධ්‍යාපනය සුරකින ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ දී ඒ සඳහා පදනම් කරගත යුතු කරුණු පිළිබඳවත් මෙම කෘතියේ සවිස්තරව දක්වා ඇත.