සිසුන් දවන සරසවි ගැටලූ....


මේ වන විට උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.ඒ සඳහා දියත් කරන විවිධ ව්‍යාපෘති අතර ඉංගී‍්‍රසි හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත‍්‍රයේ මහා විප්ලවයක් කිරීමට යන බවක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ කියුම් කෙරුම් තුලින් පෙනෙන්නට තිබේ.
ඒ පිළිබඳව වන මිත්‍යාව හා යථාර්ථයත්, සරසවි තුළ ඇති අනෙකුත් දැවෙන අධ්‍යන හා සුබසාධන ගැටළු පිළිබඳවත් සමාජයට යම් අවබෝධයක් තිබීම වටිනේය.
පාසල් අධ්‍යාපනය තුළ ඉංගී‍්‍රසි ඉගැන්වීම සඳහා විද්‍යාත්මක ක‍්‍රමවේදයක් නොමැතිවීමේ ප‍්‍රතිඵලය, විශ්වවිද්‍යාලයට එන සිසුන්ගෙන් 90% කටත් වඩා ඉංගී‍්‍රසි පිළිබඳව ඇත්තේ් ඉතා අල්ප දැනුමකි. ඇමතිවරයා ඉංගී‍්‍රසි ඉගැන්වීම පිළිබඳව වේදිකා තුළ එක එක කයිවාරු ගැසුවද විශ්වවිද්‍යාල තුළ ඉංගී‍්‍රසි ඉගැන්වීමේ කි‍්‍රයාවලිය පාසල්වලටත් වඩා අන්තය. වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 1100 කට ඉංගී‍්‍රසි ඉගැන්වීමට ඇත්තේ ස්ථිර ආචාර්යවරුන් දෙදෙනෙකු පමණි. මෙය රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේදී සිසුන් 1300 කට ආචාර්යවරුන් දෙදෙනෙකි. සිටින ආචාර්යවරුන් බොහොමයක්ද ප‍්‍රවීන හා පුහුණු ආචාර්යවරුන් නොවන අතර එවැනි ප‍්‍රවීනතාවක් සහිත ආචාර්යවරුන් බඳවාගැනීම සඳහා වන කිසිඳු වැඩපිිළිවෙලක් විශ්වවිද්‍යාලවලට නොමැත. එපමණක් නොව විෂය නිර්දේශවල තත්ත්වයද ඇත්තේ ඉතා දුර්වල අඩියකය. 
විශ්වවිද්‍යාල තුළ මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට මූලික වශයෙන් බලපා ඇත්තේ ඒ සඳහා වෙන්කළ ප‍්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කර දැමීම හේතුවෙනි. එය පසුගිය වසර පහක කාලය තුළ අන් කවරදාටත් වඩා වේගවත්ව සිදුවිය. එපමණක්ද නොව අයවැයෙන් වෙන් කළ ප‍්‍රතිපාදන වුවද විශ්වවිද්‍යාලවලට ප‍්‍රායෝගිකව ලබාදුන්නේ නැත. මේ වන විටත් විශ්වවිද්‍යාල පද්ධතිය කොතෙක් දුරට අරාජිකවී ඇත්ද කියතොත් සියලූ ඉදිකිරීම් නවතා දමා ඇත. එය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් බව උසස් අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත.

තොරතුරු තාක්ෂණයේ සිදුවන මහා විප්ලවය
මේ වන විටත් විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙන ඒමට යැයි කියමින් විදෙස් සිසුන්ට උපාධි විකුණන්නට සැරසෙන ආණ්ඩුව සරසවි සිසුන්ට පරිගණක ලබාදී ඇත්තේ අධ්‍යයනයට නොව ‘‘ධාතු කරඬුව’’ සේ තබා මල් පහන් පූජා කරන්නටය. ආසියාවේ හොඳම දන්ත වෛද්‍ය පීඨය වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයයි.  එහෙත් එහි ඇත්තේ පරිගණක හයක් යැයිද ඒ අනුව එක් ශිෂ්‍යයෙකුට දිනකට පරිගණක භාවිතයට ලැබෙනුයේ මිනිත්තු එකොලහක් යැයි කීවොත් කිසිවෙකු පුදුමවනු ඇත. නමුත් අපේ රටේ බොහොමයක් විශ්වවිද්‍යාලවල යථාර්ථය මෙයයි. රජරට විශ්වවිද්‍යාලයේ තත්ත්වය මීට වඩා මිනිත්තු කිහිපකින් වෙනස්ය. සිසුන් 2500 කට ඇත්තේ පරිගණක 60 ක් වන අතර එක් සිසුවෙකුට දිනකට මිනිත්තු 13 ක් පරිගණක භාවිත කළ හැකිය. 

ගොඩනැගිලි නැති පීඨ 
මීට අමතරව විශ්වවිද්‍යාල වලින් බොහොමයක අධ්‍යාපන කටයුතු පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය අවම පහසුකම් පවා නොමැති තත්ත්වයක් පවතී. පීඨයක් වශයෙන් පැවතිය යුතු ගොඩනැගිලි පහසුකම් නොමැති, නාම පුවරුවලට පමණක් සීමාවූ පීඨ විශාල සංඛ්‍යාවක් ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය, රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය හා සමසෞඛ්‍ය පාඨමාලාව, රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය හා ශාස්ත‍්‍ර පීඨය යනාදිය මේ අතර ප‍්‍රමුඛය.
බොහොමයක් ආරම්භ කර ඇති ඉදිකිරීම්ද දිගින් දිගටම ප‍්‍රමාද වෙමින් තිබේ. කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට අයත් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කළේ 2005 වර්ෂයේදීය. ප‍්‍රතිපාදන කැපීම නිසා අවස්ථා තුනකදීම එහි ඉදිකිරීම් නවතා දැමීමට සිදුවුණි. 2010 වර්ෂයේදී ඉදිකිරීම් අවසන් කළ යුතුව තිබුණද මන්දගාමී ඉදිකිරිම් නිසා තවත් වසර පහකින්වත් අවසන් වේයැයි සිතිය නොහැක. 
රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨ සංකීර්ණයද 2003 වර්ෂයේ සිට අද දක්වාම බාලගිරි දෝෂය වැළදුණකි. ඉදිකිරීම් කෙසේ වෙතත් අඩුම තරමේ ඒ සඳහා අවශ්‍ය ඉංජිනේරු සේවා සැපයීමේ ආයතනයක්වත් සොයාගැනීමට බළධාරීන් අසමත්ව තිබේ. 
රුහුණ විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පාඨමාලාවටද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධියටද, අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව අඩුම තරමේ සාකච්ඡුාවක් පවා සිදුවන්නේ නැත. රජරට විශ්වවිද්‍යායේ කළමනාකරණ හා ශාස්ත‍්‍ර පීඨවල තත්ත්වයද එසේමය. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන් සඳහා අවශ්‍ය ‘‘මහාචාර්ය ඒකක’’ සඳහා ගොඩනැගිලි පහසුකම් කිසිවක් නොමැති අතර ඒවා ඉදිකිරීමද තවමත් සිදුනොවේ. 

දේශන ශාලා අර්බුදය
උක්ත ගොඩනැගිලි සංකීර්ණ ඉදිනොවීමේ ප‍්‍රතිඵලය සිසුන්ට ඉමහත් පීඩාවන් රැුසකට මුහුණපෑමට සිදුවීමයි. මෙම තත්ත්වය නිසා කැළණිය විශ්වවිද්‍යාලයේ දේශන වලින් බොහොමයක් පවත්වනුයේ ශ‍්‍රවණාගාරයේය. එම නිසා සිසුන්ට සිදුව ඇත්තේ කලා සංස්කෘතික කි‍්‍රයාකාරකම් මුළුමනින්ම නවතා දැමීමටයි. කුමන හෝ කලා සංස්කෘතික කටයුත්තක් සංවිධානය කිරීමට සිසුන්ට අවශ්‍ය වේ නම් ඒ සඳහ ශ‍්‍රවණාගාරය වෙන්කර ගැනීමට සති කිහිපයකට පෙර දැනුවත් කිරීමටත්, රු. 2500 ක ගාස්තුවක් ගෙවීමටත්, එම දිනවල ශ‍්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත දේශන පැවැත්වීම සඳහා අවශ්‍ය වෙනත් ශාලා හෝ පංති කාමර හෝ ශාලා සොයාදීමටත් සිසුන්ට සිදුවීම ඛේදජනකය. ඒ නිසා අකමැත්තෙන් වුවද සිසුන්ට කලා සංස්කෘතික කි‍්‍රයාකාරකම් වලින් බැහැරවීමට සිදුව ඇත. 
මෙම අර්බුදය පුපුරායාමේ ප‍්‍රතිඵලයක් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සඳහා අධ්‍යන කටයුතු විෂය නිර්දේශයට අනුව විෂය ක්ෂේත‍්‍ර හතරකට බෙදා ලබාදිය යුතුව තිබුණද එය ක්ෂේත‍්‍ර දෙකක් දක්වා කප්පාදු කිරීමට පවා යෝජනා විය. 
රුහුණ විශ්වවිද්‍යාලයේද දේශන පැවැත්වීමට සිදුව ඇත්තේ ශ‍්‍රවණාගාරයේ වන අතර දේශන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් නොමැති හෙයින් එහිදී සිසුන්ට අල්ල මත තබාගෙන සටහන් ලිවීමට සිදුව ඇත. විභාග ශාලා නොමැති වීමෙන් නියමිත වෙලාවන්ට අනුව විභාග පැවැත්වීමට නොහැකි වීමද මෙම විශ්වවිද්‍යාලයේ ඇති තවත් ගැටළුවකි. එම නිසා වසරක අධ්‍යන කාලය තවත් මාස කිහිපයකින් දිග්ගැස්සීම නිරතුරුව සිදුවේ. වසර හතරක උපාධි පාඨමාලාවට වසර පහක් ගතවන්නේ මේ නිසාය. මීට අමතරව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විෂයට අදාළ දේශන පැවැත්වීම අවස්ථා ගණනාවකදීම අවලංගු කිරීමට සිදුව ඇත්තේද මෙම දේශන ශාලා හිඟය උග‍්‍රවීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. 

ආචාර්ය හිඟය
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්‍ෂාකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ සුදුසුකම් සහිත ප‍්‍රමාණවත් ආචාර්ය මඩුල්ලක් සිටීමයි. බොහොමයක් පීඨවල ප‍්‍රමාණවත් ආචාර්ය මණ්ඩලයක්ද, සුදුසුකම් සහිත ආචාර්යවරුන්ද කොහෙත්ම නැත. අවම වශයෙන් පීඨයක එක් අධ්‍යන අංශයකට එක් මහාචාර්යවරයෙකු බැගින්වත් සිටිය යුතුය. එහෙත් පේරාදෙණිය කළමනාකරණ හා සමසෞඛ්‍ය යන පීඨවලද රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා ඉංජිනේරු යන පීඨවලද රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේද වව්නියා විශ්වවිද්‍යාලයේ හා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයකද එකඳු මහාචාර්යවරයෙකුවත් නැත. 
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආචාර්ය හිඟය උග‍්‍රව බලපා ඇති පීඨයක් වන අතර එහි යාන්ත‍්‍රික හා නිපයුම් අධ්‍යන අංශයේ ආචාර්යවරුන් 18 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ ආචාර්යවරුන් හත්දෙනෙකු පමණි. මෙම අර්බුදය කොතෙක්දයත් එම විශ්වවිද්‍යාලයේම ශාස්ත‍්‍ර පීඨයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යා විධික‍්‍රම විෂය සහ ඉතිහාසය අධ්‍යයන අංශයේ යුරෝපා ඉතිහාසය යන විෂයන් සඳහා පසුගිය සමාසිකයටම දේශන පවත්වා ඇත්තේ පැය දෙකක් පමණි. 

නේවාසිකාගාර ගැටළු
කිසිඳු විශ්වවිද්‍යාලක් අද වන විට සිසුන්ට ප‍්‍රමාණවත් තරම් නේවාසික පහසුකම් සැපයීමට සමත් නොවන අතර බොහොමයක් නේවාසිකාගරවල තත්ත්වය කුකුල් කූඩුවලටත් වඩා අන්තය. නේවාසිකාගාර ලබාදීම සිසුන්ගේ අවශ්‍යතාවයන්ට සාපේක්‍ෂව පුළුල්කිරීම වෙනුවට දැනටමත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ලබාදුන් ප‍්‍රමාණයත් කප්පාදු කිරීමටයි. ඒ අනුව මෙතෙක් වසර හතර දක්වා ලබාදුන් නේවාසිකාගාර පහසුකම් වසර දෙකක් දක්වා කප්පාදු කිරීමට නේවාසිකාගාර සඳහා සිසුන්ගෙන් වාර්ෂිකව ලබාගත් සුළු සුළු ගාස්තු සියදහස් ගුණයකින් ඉහළ දැමීමටත් කටයුතු කර ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මීට පෙර වසරකට රු.600 ක් ලෙස අයකළ ගාස්තුව රු.6000 දක්වා ඉහළ දමා ඇත්තේද එම විශ්වවිද්‍යාලයේම කෘෂි පීඨයේ සිසුන්ගෙන් නේවාසිගාරවල විදුලි බිල හා ජල බිල එකතුකර ගැනීම සඳහා දැනටමත් නේවාසිකාගාර කාමරවල ජල මීටර සහ විදුලි මීටර සවිකරමින් තිබෙන්නේද, එහි බරත් අහිංසක දෙමවුපියන් මත පටවන්නටය.
ආපන ශාලාවල පහසුකම් සැපයීමද මීටත් වඩා කණගාටුදායක තත්ත්වයක පවතී. ලැබෙන මහපොළ හෝ ශිෂ්‍යාධාරවල කිසිඳු ඉහළ දැමීමක් සිදුනොවුණද ආපන ශාලාවල සහන මිලට මෙතෙක් ලබාදුන් ආහාරවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාමද ගුණාත්මකව සිදුව ඇති සීග‍්‍ර බිඳවැටීම විසින් බලකර ඇත්තේ වේලක් කා දෙවේලක් නිරාහාරවන්නටය. අනෙකුත් පහසුකම් ඇත්තේද ඉතාමත් පහත් මට්ටමකය. වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 1600 ක් ආහාර ගන්නා ආපන ශාලාවේ ඇත්තේ මේස හතරක් හා පුටු හයක් පමණි. ඒ අනුව එක් පුටුවකට සිසුන් 263 ක් සිටී. මෙය රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රයේදී සිසුන් 13 කට එක් පුටුවක් බැගින්ද සෞන්දර්යය විශ්වවිද්‍යාලයේදී එය සිසුන් 10 කට එක බැගින්ද වේ. 
මීට අමතරවද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගැටළු ගත්විට තවත් විශාල ප‍්‍රමාණයක් පවතී. මෙය එක් අතකින් වැසිකිළි හා සනීපාරක්‍ෂාව පිළිබඳව වන ගැටළුවල සිට දහසකුත් එකක් සුබසාධන ප‍්‍රශ්න ලෙසද තවත් අතකින් දේශනයක් පැවැත්වීමේ සිට විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වාම වන අධ්‍යයන ප‍්‍රශ්න ලෙසද හඳුනාගත හැකිය. බොහොමයක් විශ්වවිද්‍යාලවල විද්‍යාගාරවල තත්ත්වය ඉතාම කණගාටුදායක වේ. සමහර විශ්වවිද්‍යාලවල විෂය මාලා දශක කිහිපයක් තුළ වෙනස් කර  නැත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ගණිතය යන විෂයන් සඳහා වන විෂය නිර්දේශ වසර 30 කින් සංශෝධනය නොවීම ඒ සඳහාවන එක් උදාහරණයක් පමණි.
වයඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉලේක්ට්‍රෝනික් අධ්‍යන අංශයේ ප‍්‍රායෝගික පරීක්‍ෂණ කටයුතු සඳහා අත්‍යවශ්‍ය සංගෘහිත පරිපථ (ෂක්‍* ඇත්තේ 45 දෙනෙකුට 5 කි. ඒ අනුව සිදුව ඇත්තේ අධ්‍යයනය කිරීමට නොව එක් ෂක්‍ එකක් වටා සිසුන් 9 දෙනෙකු වටවී එහි ඇති ආශ්චර්යය දෙස බලා සිටීමට හෝ නොඑසේනම් සංගීත තොප්පි තරගයකදී මෙන් අතින් අතට යවමින් විනෝදවීම වැනි දෙයක නිරතවීමටය. එසේම මොරටුව විශ්වවිද්‍යාලයේ භෘඔ පාඨමාලාවට අයත් නෞකා චලන ඉංජිනේරු විද්‍යා පාඨමාලාවට මෙතෙක් තිබූ ෂීධ 9002 තත්ත්ව සහතිකය පාඨමාලා අලූත් නොවීම හේතුවෙන් අවලංගු කරන බවට අනතුරු අඟවා තිබීමද සිසුන් මුහුණදෙන අධ්‍යයන අර්බුදයේ තවත් පැතිකඩක් නිරූපණය කරයි. 
එසේම බොහොමයක් විශ්වවිද්‍යාලවල සිසුන්ට පානීය ජල පහසුකම් පවා ප‍්‍රමාණවත්ව නොලැබෙන තත්ත්වයක් පවතී. මේ වන විට වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට උග‍්‍ර ජල හිඟයකට මුහුණදීමට සිදුව ඇත්තේ ළිංවල ජලය තිබුණද ඒවා ටැංකිවලට පොම්ප කිරීම සඳහා අවශ්‍ය ජල පොම්ප කි‍්‍රයාකරවීමට අවශ්‍ය විදුලි ධාරිතාව ලබාදීමට අවශ්‍ය ට‍්‍රාන්ස්පෝමර් සවි කිරීමට කටයුතු නොකිරීම නිසාවෙනි. ඒ අනුව සිසුන්ගේ ජල අවශ්‍යතා සැපිරීමට බවුසර් මගින් ජලය ගෙන ඒමට සිදුවන අතර දිනකට බවුසර් 10 ක් පමණ එක් බවුසරයකට රු.6000 බැගින් වියදම් කර සැපයුවද සිසුන්ගේ අවශ්‍යතාවයන්ට ප‍්‍රමාණවත්ව ජලය නොලැබීම නිසා ඔවුහු විශාල ලෙස පීඩා විඳිති.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ‘‘යූරෝ ලංකා’’ නේවාසිකාගාරයේද මෙවැනිම ජල හිඟයක් පවතින අතර ඒ සඳහා බලපා ඇත්තේ ජල බිල පාලනය කිරීම සඳහා ජල පරිභෝජනය සීමාකිරීමට බලධාරීන් කටයුතු කිරීමයි. බොහෝවිට මෙහි සිටින 703 ක් පමණ වන ශිෂ්‍යාවන්ට දේශන අවසන්ව නේවාසිකාගාරයට පැමිණි විට කොතරම් උෂ්ණාධික තත්ත්වයකදී වුවද මූණ සේදීමට පවා නොහැකි තත්ත්වයක් පවතී. එපමණක් නොව සමහර අවස්ථාවන්හිදී වැසිකිළි හා සනීපාරක්‍ෂ කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් පවා නොමැති වීම අපුල දනවන සිදුවීමකි. 
මෙපමණක් නොව සාකච්ඡුා කරන්නේ නම් තවත් බොහෝ ගැටළු දුෂ්කරතා තව බොහෝ ගණනක් විශ්වවිද්‍යාල තුළ ඇත. මේ සඳහා කිසිඳු ප‍්‍රතිපත්තියකින් හා දැක්මකින් තොරව පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාලවල කරන ලද දේශපාලන ඇඟිලි ගැසීම්ද එහිදී සිදු වූ හිතුවක්කාර ප‍්‍රතිසංස්කරණද මේ තත්ත්වයට බොහෝ සෙයින් බලපා ඇත. 
යථාර්ථය නම් ගෙවුණු පසුගිය දශක තුන හතරක කාලය තුළ බලයට පත්වූ කිසිම පාලකයෙකු විශ්වවිද්‍යාල දියුණු කිරීමේ සැබෑ අරමුණින් යුතුව විශ්වවිද්‍යාලවලට මැදිහත් නොවූ බවයි.  එදා මෙදා තුර සෑම පාලකයෙකුටම තිබූ එකම ගැටලූව වූයේ විශ්වවිද්‍යාල තම රූකඩ බවට පත්කර ගන්නේ කෙසේද? යන්න මිස ඒවා රටේ දැනුම උපදවන හා බෙදාහරින අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත්කර රටේ ඉදිරි සංවර්ධන කි‍්‍රයාදාමයන් සඳහා අවශ්‍ය දියුණු මානව සම්පත් ගොඩනැගීම පිළිබඳව නොවේ. 
දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සිදු වූ මෙම මහා ව්‍යවසනයේ ප‍්‍රතිඵල අද වන විට සෑම විශ්වවිද්‍යාලයකින්ම පාහේ පාරගම්‍ය වේ. 
මෙය වත්මන් ආණ්ඩුව තුළ සිදුකරන රාජ්‍ය විශ්වවිද්‍යාල දුර්වල කර පෞද්ගලික උපාධි කඩ නීතිගත කිරීම සඳහා වන සැළැස්මත් සමඟ එකට සමපාත වෙමින් සිදුවේ. විශ්වවිද්‍යාල තුළ සිසුන් සිය අධ්‍යයන කටයුතු පවා අතහැර වීදි බැස සටන් වදින්නේ මෙවැනි දහසකුත් එකක් වන ගැටළු නොවිසඳීමට බළධාරීන් කටයුතු කරන නිසාය. නමුත් ආණ්ඩුව සිදුකරන්නේ ඒවා විසඳනවා වෙනුවට ඒවාට විසඳුම් ඉල්ලා සිදුකරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී උද්ඝෝෂණවලට කුරිරු හා ප‍්‍රචණ්ඩ මර්දනයක් මුදාහැරීමයි. එම නිසා මේ රටේ බුද්ධිමත් ජනයා ශිෂ්‍ය සටන් හඳුනාගත යුත්තේ පටු දේශපාලන දෘෂ්ඨි කෝණවල  සිට නොව සිසුන් මුහුණ දෙන උක්ත ගැටළුවලට සාපේක්‍ෂවය.  

සංජීව බණ්ඩාර
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.