සුසන්ත බණ්ඩාර අපට කියාදුන් පාඩම කුමක්ද?

සරසවි සිහිනය සැබෑ කරගන්නට කළ යුතු කැපකිරීම් වල ප‍්‍රමාණය ඔබට හෝ මට කවුරුන් විසින් හෝ අමුතුවෙන් විස්තර කරදියයුතු නැත.එසේ විසිර මල් පෙති මාවතක නොව කටු බොරළු මාවතක ඇවිද යමින් සුසන්ත බණ්ඩාර අපේ ආදරණීය සටන් සගයාද සරසවි වරම් ලබන්නේ සුවහසක් වූ බලාපොරොත්තු ගොන්නක් කර පින්නාගෙනය.
නමුදු සුසන්තට උපාධිය ලබා ගැනීමට පෙර ඔහුගේ ජීවිතයට සමු දීමට සිදුවිය.මේ සටහන තබන මොහොත වන විට සුසන්ත බණ්ඩාර සොයුරා අපෙන් උදුරාගෙන වසරක් ගතවී හමාරය.සුසන්ත බණ්ඩාර සොයුරා අපෙන් සමුගෙන ඇතත් අපට ඔහුගෙන් ඉගෙනගතයුතු පාඩම් බොහෝමයක් ඇත.
නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා ලේ,කඳුළු,දහඩිය පමණක් නොව තම ජීවිතයද කැප කළ වෙනුර එදිරිසිංහ,පද්මසිරි ත‍්‍රිමාවිතාන,කේ.ටී.නිමලසිරි වැනි විරු සොයුරන් පිළිබඳව අප ඉතිහාසයේදී අසා ඇත්තෙමු.ඔවුන් අපට ඉගැන්වූ පාඩම් ආදර්ශයෙන්ම යළි අපට මතක් කර දෙන්නට සුසන්ත බණ්ඩාර සොයුරාගේ ජීවිත කැපකිරීමට හැකිවිය.
ඉතිහාසයේ වරප‍්‍රසාද ලත් පංතියකට පමණක් සීමාවී තිබූ අධ්‍යාපනය ලැබීමේ අයිතිය බහුතරයකට හිමි වූයේ 1946 වර්ෂයේ දී සී.ඩබ්ලිව්. ඩබ්ලිව්.කන්නන්ගර ශ්‍රීමතාණන් ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන පණතට පිං සිදුවන්නටය.නමුත් එතැන් පටන් ඉතිහාසය පුරාවටම නිදහස් අධ්‍යාපන අයිතිය වැළලීමට විවිධ කුමන්ත‍්‍රණ දියත් වන්නට විය.එකී සෑම අවස්ථාවකදීම නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගැනීම උදෙසා ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය පෙරට ආවේ නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීම සිය උරමත පැටවුණු වගකීමක් බව ලේ,කඳුළු,දහඩිය පමණක් නොව තම ජීවිත කැපකිරීමෙන්ද ඔප්පු කරමිනි.
අතීතයේ දී නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කර ගැනීම උදෙසා තම ජීවිතය කැපකළ විරු සොයුරු සොයුරියන්ද සරසවියට පැමිණියේ ඔවුන්ගේ මෙන්ම, ඔවුන්ගේ දෙමාපියන්ගේද දහසකුත් එකක් බලාපොරොත්තු සිතේ තබාගෙනය.නමුත් නිදහස් අධ්‍යාපන අයිතිය වැළලීමට යද්දී ඔවුන් තමන්ගේ බලාපොරොත්තු අතහැර දමා ජීවිතයද පරදුවට තබා නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමට පෙරට ආවේ ඔවුන් කිසි දිනක නොදුටු අපවැනි පිරිසකට නිදහස් අධ්‍යාපනයේ මාවත විවෘත කර දීමටය.අද ඔබද මමද භුක්ති විඳිනුයේ ඔවුන්ගේ කැපකිරීම් වල ප‍්‍රතිඵල යැයි කිවහොත් ඔබ අප හා එකගවනවා ඇත.එදා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කළ අරගලයේදී පද්මසිරි ත‍්‍රීමාවිතාරණ සොයුරාට තම ජීවිතය අහිමිවිය.එම නිසා එවකට වෛද්‍ය ශිෂ්‍යකු වූ ඔහුට වෛද්‍යවරයකු වීමට නොහැකි වුවත් අද රාගම වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවරු බිහි වන්නේ ඔවුන්ගේ කැපකිරීම් වල ප‍්‍රතිඵල නිසාවෙනි.
අද රුහුණ සරසවියේ අප භුක්ති විඳින නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීමට කේ.ටී. නිමලසිරි සහෝදරයා ඇතුළු විශාල පිරිසක් ජීවිත පූජාකර තිබේ.ඔවුන්ගේ කැපකිරීම් නොවන්නට අනේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස ඇරඹි රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් හට නේවාසිකාගාර පහසුකම් කිසිම දිනක හිමි නොවනු ඇත.මන්ද ශිෂ්‍යන්ට අනුකම්පා කර පාලකයන් විසින් මේන්න යැයි කියා රිදී බන්දේසි උඩතබා ලබා දුන් දෙයක් පිළිබඳ අප අසා නැති නිසාවෙනි.අපේ ආදරණීය සටන් සගයා සුසන්ත බණ්ඩාර සහෝදරයාටද තම ජීවිතය අහිමි වූයේ නේවාසිකාගාර ලබා ගැනීම සඳහා කළ අරගලයකදීය.ඔහු සටන් කළේද ඔහු නොදුටු පරම්පරාවකට අයිතිවාසිකම් දිනා දීමටය.නමුත් අද පරම්පරාවේ බොහෝ පිරිසකට වෙනුරලා,නිෂ්මිලා,ත‍්‍රිමාලා,බාලේලා බර වැඩිය.පිකටිං පෝස්ටර් කැට උද්ඝෝෂණ පවා අරහංය.එවන් වූ මොහොතක වෙනුරලා,නිෂ්මිලා,ත‍්‍රිමාලා,බාලේලා ඉගැන්වූ පාඩම් සුසන්ත බණ්ඩාර ආදරණීය සටන් සගයා යළි අපට මතක් කර දී තිබේ. එනම්,
දැන් හිමිදිරිය,සීතලය වැඩ බැරිය
දැන් දහවලය,උණුසුම්ය වැඩ බැරිය
දැන් රාත‍්‍රියය,නිදිමතය වැඩ බැරිය
යන කියමන් තව දුරටත් අදාළ නොවන බවයි.මන්ද ඔහු තම ජීවිතයද,අරගලය උදෙසා පුද දී හමාරය.අපටද සිතන්නට යමක් ඉතිරි කර ඔහු අප හැර ගොස් තිබේ.ආදරණීය සටන් සගය ඔබ අපෙන් උදුරාගෙන වසරක් ගතවන මොහොතේ අපටද පැවසීමට යමක් ඇත.

ඉතින් දිනෙක පළවා ගනඳුරු             සීත
උතුම් හිරු මඞල බැබළෙන මතු         දාක
මිටින් නොහෙලූ පරපුර වෙත බැඳි     පේ‍්‍රම
තදින් වැළඳ සිපගමි ඔය විරු              දෑත