හමුදා පුහුණුව සරසවි සිසුවියක් බිලිගනී.
බලහත්කාරී හමුදා පුහුණුව ආරම්භ කරන මොහොතේදීම අපි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලට විදියට රටටම පැහැදිලි කළ බවත්,මේ පුහුණුව විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිතවලට විනාශය ගෙනෙන පුහුණුවක් බවත් අද පැවති මාධ්‍ය හමුවේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව සහෝදරයා,
‘‘මේ වනවිට එය තවදුරටත් තහවුරු වෙලා තියෙනවා.පසුගිය ජූලි 28 වනදා බදුල්ල මහරෝහලේ දැඩිසත්කාර ඒකකයේ දී ශිෂ්‍යාවක් මියයනවා.ඇය මිය යන්නේ සෙම් රෝගයක් උත්සන්න වීම නිසා. ඇය නමින් නිෂාන්ති මධුෂානි වැලිමඩ තෙන්නකෝන් ගමේ.වාණිජ්‍ය අංශයෙන් උසස්පෙළ හදාරල කැළණි විශ්වවිද්‍යාලයට තේරුන ශිෂ්‍යාවක්.ඇයට එක මොහතක ඇයගේ සියළු බලාපොරොත්තු අහිමි වෙනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය අරන් එද්දී හීන දැකපු ඇගේ දෙමාපියන්ට සිද්ද වෙනවා තමන් මුළු ජීවිතයේම දහදුක් විඳලා හදපු දරුවා නිකරුනේ මියයද්දි බලාගෙන ඉන්න.මේ තමයි,මේ මහා මාහානුභාව සම්පන්න හමුදා පුහුණුව අපට ඉතිරිකරපු අවසාන ප‍්‍රතිඵලය.
මේ ශිෂ්‍යාවට පුංචි කාලයේ ඉඳලම සෙම් රෝගයක් තිබුණා.අපි මේ ප‍්‍රශ්නය මතු කලාම ආණ්ඩුවේ මහත්වරු කියයි අන්න ඒ නිසා තමයි ඇය මැරෙන්න ඇත්තෙ කියලා.මේකට හමුදා පුහුණුවේ කිසිම සම්බන්ධයක් නැහැයි කියලා.එවැනි ප‍්‍රකාශ නිකුත් කරන්න යථාර්ථය විකෘති කරන්න මෙම ශිෂ්‍යාවගේ පවුලේ අය උනත් සම්න්ධ කරගන්න පුළුවන්.එහෙම උනත් අපි පුදුම වෙන්නේ නෑ.මොකද,ස්ව කැමැත්තෙන් ගස් බන්ඳවාගන්න සමෘද්ධි නිළධාරීන් ඉන්න රටක්නෙ මේක.රෝෂේන් මරලා ඒකෙ වගකීම කම්කරුවෝ මතම පටවන්න උත්සහ කරපු හැටි,රුහුණ විශ්වවද්‍යාලයේ සුසන්තට පොලිස් මැරයො කරපු පහරදීමකින් මැරුනට පස්සෙ එහි වගකීම ශිෂ්‍යයෝ මත පටවන්න ඔහුගෙ දෙමවුපියෝ යොදාගත් හැටි,මේ රටේ බුද්ධිමත් ජනතාවට අමතක නැහැ.
නමුත් යථාර්තය තමයි නිෂාන්තිට ජීවිතය නැතිවන්නේ හමුදා පහුණුව නිසා.මේ හිතුවක්කාර තක්කඩි ආණ්ඩුව තමන්ගෙ බාල ව්‍යාපෘතිය සඳහා කරන මාරාන්තික සෙල්ලමක ප‍්‍රතිඵයක් විදිහටයි.සෙම් රෝගයක් හදිසියේ මාරාන්තික තත්ත්වයට පත්වුනේ කොහොම ද? ඔරොත්තු නොදෙන දැඩි සීත දේශගුණය,දින 21 ක් තිස්සේ එම දැඩි සීතල තුළ පාන්දර 5 ට ශාරීරික ව්‍යායාම වලට බලහත්කාරයෙන් යොමුකර වීම,ඒක තමයි ඇගේ රෝගය මාරාන්තික වෙන්න බලපාපු මූලික හේතුව.
අපි දන්නවා මේක මේ හමුදා පුහුණුවෙදී වාර්ථාවුණ එකම සිදුවීම නෙවෙයි.තවත් සිදුවීම් ගණනාවක් වාර්ථා වූණා. අලි පහරදීම්,සර්පයෝ දෂ්ඨ කිරීම්,ආහාර විෂවීම්,විවිධ තුවාල සිදුවීම්,අබ්බාගාත වීම්,බරලතල මානසික ආතතීන්ට ගොදුරු වීම්,මෙවැනි සිදුවීම් ගණනාවක් අපි මීට පෙර හෙලිදරවි කලා.ආණ්ඩුව තමන්ගේ මාධ්‍ය යොදාගෙන ඉතාම සුන්දර රූපරාමු ඔස්සේ කියන්න හැදුව මේක හරිම සංවේදී හැගුම්බර පුහුණුවක් කියලා. මේ තමයි ඒ සංවේදී පුහුණුවේ අවසන් ප‍්‍රතිඵලය.ශිෂයාවක්ට සිය ජීවිතය අහිමි වීම.
කොහොම හරි මෙම සිදුවීම රටට හෙළිදරව් වෙන එක ආණ්ඩුව වලක්වලා තියෙනවා.දෙමව්පියෝ තොරතුරු දෙන්න සූදානම් නෑ.මොකද ඒ අය මේ ආණ්ඩුව ගැන හොඳට දන්නවා.ඒ මේ රටේ ප‍්‍රජාත‍්‍රන්තවාදයේ හැටි.මිනිස්සු මරණව විතරක් නෙවෙයි,මිනිස්සු පීඩාවට පත්කරනවා විතරක් නෙවෙයි,අඩුම තරමේ ඒ මිනිස්සුන්ට ඒ අයුක්තිය අසාධාරණය ගැන කතාකරන්නවත් අයිතියක් ඉතිරි කරලා නෑ.ඛේදවාචකය තමයි,පීඩකයෙක් ඉන්නවා හැබැයි පීඩිිතයෙක් පේන්න නෑ.නෑ විතරක් නෙවෙයි පීඩකයා පෙරලා පීඩිතයා කියල ඔප්පු කරන්න ඉතා නිර්ලජ්ජීත ලෙස තම මාධ්‍ය යොදාගන්නවා.
ඒ නිසා මේ මරණය පිළිබඳව වුණත් විවිධ විග‍්‍රහ ඉදිරිපත් වෙන්න පුඑවන්.මියගිය නිෂාන්තිගේ දෙමවුපියෝ ලවා වුනත් ප‍්‍රකාශ නිකුත්කරවා ගන්න පුළුවන්.ඒ කොහොම වුනත් ඇගේ මරණයට හේතුව හමුදා පුහුණුව.ඒක බොරු කරන්න බෑ.නිශාන්තිගෙ අවසන් කටයුතු මේ වන විට අවසන්.අපි මෙතනදී අවධාරණය කරන්නේ එක දෙයයි.මේ එහි පළමු සිදුවීමවත් අවසන් සිදුවීමවත් නෙවෙයි.අද නිශාන්ති...හෙට කවුද ?හමුදා පුහුණුව අවසන් නෑ.හෙට ගොදුර ඔබේ දරුවා වෙන්න පුළුවන්.ඒ නිසා මේ රටේ ජනතාව තීරණය කළ යුතුයි තවදුරටත් නිහඩව ඉන්නවද එහෙම නැත්නම් මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කරනවද කියලා...’’