අද සරසවිය හා රටේ අනාගතය.
ගෞරවණීය ස්වාමීන් වහන්ස,
ආචාර්යතුමනි/තුමියනි,
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ලෙස ඔබ විසින් ආරම්භ කර ඇති වෘත්තීය අරගලයට අප මුලින්ම අපගේ සහයෝගය පළ කර සිටිමු.ඔබගේ අරගලය දැනටමත් බොහෝ සේ ජයග‍්‍රහණය කර ඇති අතර බොහෝ විට මෙම ලිපිය ඔබ අතට පත්වන විට සම්පූර්ණයෙන්ම ජයග‍්‍රහණය කර තිබෙන්නටද පුළුවන.
ඒ සදහා අපගේ සුභපැතුම් එකතුකරන අතරම,ආණ්ඩුව තමන්ට හිතවත් සිසුන් කිහිපදෙනෙකු යොදා ගනිමින්, උක්ත අරගලය කඩාකප්පල් කිරීමට ද,සිසුන් ආචාර්යවරුන්ගේ අරගලය සමඟ නැතැයි යන්න රටට ඒත්තු ගැන්වීම සඳහා කරනු ලබන තිරස්චීන උත්සාහයන් ද තරයේ හෙළා දකිමු.එසේම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ඔබ සමග සිටින බවද වැවිදුරටත් ප‍්‍රකාශකර සිටිමු.
ඒ සදහා අපගේ සුභපැතුම් එකතුකරන අතරම,ආණ්ඩුව තමන්ට හිතවත් සිසුන් කිහිපදෙනෙකු යොදා ගනිමින්, උක්ත අරගලය කඩාකප්පල් කිරීමට ද,සිසුන් ආචාර්යවරුන්ගේ අරගලය සමඟ නැතැයි යන්න රටට ඒත්තු ගැන්වීම සඳහා කරනු ලබන තිරස්චීන උත්සාහයන් ද තරයේ හෙළා දකිමු.එසේම ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ඔබ සමග සිටින බවද වැවිදුරටත් ප‍්‍රකාශකර සිටිමු.
පාලකයන් කවදත් සිදු කළ පරිදි ම මෙම අරගලය හුදු වැටුප් වැඩි කර ගැනීම සඳහා වන හා කොහෙත්ම සාධාරණ නෙවන සටනක් යැයි කියමින් සිය මාධ්‍ය හොරණෑ යොදා ගනිමින් මර ලතෝනි දෙමින් සිටියද මෙම අරගලය සමස්ත උසස් අධ්‍යාපනයේ ම උන්නතිය සඳහා වන සටනක් බව අප විශ්වාස කරන්නෙමු.
ඇත්තෙන් ම මෙය ජනතා අරගල ඉතිහාසය තුළ සුවිශේෂී අවස්ථාවකි. විවිධ තාවකාලික ආශ්වාදයන්ට නතුකර ජනතාව සතු සියල්ල කොල්ලකමින් සිටි ආණ්ඩුව කවදත් තමන් කරන ලද එකී සියලූ කොල්ලකාරි ක‍්‍රියා සුජාතකරණය කර ගැනීම සඳහා ඊනියා විද්වතුන් කිහිපදෙනෙකු යොදා ගන්නා ලදී. එහෙත් ගැටලූව වූයේ මෙම ආණ්ඩුවේ හොරණෑ බවට පත් වූ ඊනියා බුද්ධිමතුන් කිහිපදෙනා නොවේ. එයට එරෙහිව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන් විසින් කරන ලද හුදකලා උත්සාහයන් වෙනුවට මෙවැනි බලවේගයක් සේ ඒකරාශී නොවීමයි.
අද සිදුවී ඇති සුවිශේෂී පරිවර්තනය වන්නේ සාතිශය බහුතරයක් වූ ප‍්‍රගතිශීලි බුද්ධිමතුන් රටේ සංවේදී ම හා කේන්ද්‍රීයම ප‍්‍රශ්නයක් වන අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනි සිටීමයි. ඒ අනුව පාලකයන් අන්ත අසරණ වී ඇති අයුරු අපි දකිමු. මඩ අවලාද හා නරුම ප‍්‍රහාර ලෙස, සටන් කරුවා සහ සටනේ ස්වභාවය පවා නොතකමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මත එල්ල වන ප‍්‍රහාරයන් මගින් එය මැනවින් ප‍්‍රකාශ වේ.
සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ යුගයෙන් පසු බිහි වූ පාලකයන්ට අධ්‍යාපනය යන්න සමාජ අයිතියක් බව අමතක වී තිබුණි. 60 දශකයේ අග භාගයේ සිට ම ක‍්‍රමයෙන් වර්ධනය වූ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා වන නොසැළකිල්ල ජයවර්ධන පාලනයත් සමඟ රාජ්‍ය අධ්‍යාපනය වැනසීම හා විකිණීම සඳහා වන සැළකිල්ල බවට පත්විය. ලෝක අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල හරහා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ගේ සිට පත් වූ සෑම සියලූ නායකයෙක් ම සිය අල්ලේ නැටවූ බව අප දනිමු.
ක‍්‍රියාත්මක වූ සියලූ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ලෝක බැංකුවේ හා මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව ඔවුන්ගේ ණය ආධාර මත ක‍්‍රියාත්මක කරන ලද ඒවා වූ අතර ඒ සියල්ල රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අතිශය විනාශකාරී විය. 94-2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලය තුළ හා 2001-2004 වික‍්‍රමසිංහ මහතාගේ පාලන කාලය තුළ ක‍්‍රියාත්මක කළේ ද උක්ත ප‍්‍රතිසංස්කරණ යෝජනාවලීන් ම ය. නාමකරණයන්ගේ හා ක‍්‍රියාත්මක කරන ලද බලධාරීන්ගේ මුහුණුවල ඇරෙන්නට මේ යෝජනාවලීන් අතර කිසිඳු වෙනස්කමක් අප නොදුටුවෙමු. මෙහිදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ‘‘පෞද්ගලීකරණය’’ ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගත් අතර චනද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව පෞද්ගලීකරණය ප‍්‍රතිපත්තියක් ලෙස පිළි නොගත්තේ වුවද විවිධ නූල් සූත්තර හරහා ක‍්‍රියාත්මක කළේ ද එකී ව්‍යාපෘතීන්මය.
2002 වර්ෂය මෙහිදී තීරණාත්මක වසරක් විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’’ වැඩ පිළිවෙල හරහා රටම විකුණන සැළැස්මක් ක‍්‍රියාත්මක කළේය. එහිදී අධ්‍යාපනය විකිණීම මහ ඉහළින් ක‍්‍රියාවට නැගුණි. ඊනියා ‘‘විචාරවත් කිරීම’’ නැමැති සංකල්පයක් හරහා පාසල් 3000ක් වසා දැමීම ද පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ද මෙහිදී යෝජනා විය. එතෙක් ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා කරන ලද ප‍්‍රතිශතාත්මකව අඩුම මූල්‍ය වෙන්කිරීම ද කළේය. එනම් දළ දේශීය නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල 1.9% කි.
අධ්‍යාපන ප‍්‍රශ්නය ද අපේ රටේ රජුන් තැනීමටත් රජුන් නැසීමටත් තරම් බලපෑ මූලිකම ප‍්‍රශ්නයක් වූ බව අප දනිමු. අවුරුදු 06 කට බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු දෙකකින් පරාජය වීමටත් ඒ යුගයේ කරන ලද විනාශකාරී අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ විශාල වශයෙන් බලපෑවේ ය.
ඒ අනුව 2005 ජනාධිපතිවරණයේ මැතිවරණ වේදිකාවේ දී ද අධ්‍යාපන ප‍්‍රශ්න මූලික සටන් පාඨයක් බවට පත් විය. වික‍්‍රමසිංහ මහතා ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’’ වැඩ පිළිවෙල ද රාජපක්ෂ මහතා ‘‘මහින්ද චින්තනයද’’ අතින්ගෙන වේදිකාවට ගොඩ වූහ. වික‍්‍රමසිංහ මහතා අධ්‍යාපනය විකිණීම පිළිබඳව කතා කරද්දී රාජපක්ෂ මහතා කීවේ අධ්‍යාපනයට අත නොතබමි කියාය. දුන් පොරොන්දු අප කිසිවෙකුට අමතක නැත. 2005 දී පමණක් නොව 2010 දී එය එසේ ම විය. දරුවන්ට ‘‘සුභ අනාගතයක්’’ ද ‘‘තාරුණ්‍යයට හෙටක්’’ ද ගැන වහසි බස් දෙඞීය. ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානය කිරීම ද ආචාර්යවරුන් මහාචාර්යවරුන් සඳහා ලබා දෙනවා යැයි කිව් තවත් එකී නොකී බොහෝ පොරොන්දුද ඒ අතර විය.
එහෙත් සිදු වූයේ කුමක් ද? සිදුවෙමින් පවතින්නේ කුමක් ද? සැබැවින් ම මෙය ආසියාවේ පමණක් නොව මුළුමහත් ලෝකයේ ම ආශ්චර්යය වන්නේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන මහතාද, වික‍්‍රමසිංහ මහතා ද දැනටමත් අභිබවා ඇත. වසර 04 ක් තුළ පාසල් 355 ක් වසා දැමූ නායකයා වූයේ ඔහුය. වසර 04 කදී අධ්‍යාපනයට වෙන් කළ ප‍්‍රතිපාදන 40% කින්ද, එක් වසරක් තුළ යළිත් 50% කින්ද කප්පාදු කළ නායකයා ඔහුය. භාණ්ඩාගාරයේ මුදල් නැතැයි කියා පාසල් 9076 ක් සඳහා රු.මිලියන 2004 ක් තරම් වූ සොච්චමක් වෙන්කර, ලිමොසින් නැමති අතිසුඛෝපභෝගී කාර් තුනක් ගෙන්වීම සඳහා පමණක් රු.මිලියන 2100 ක් වියදම් කළ නායකයාද ඔහුය. දරුවන්ට ‘‘සුබ අනාගතයක්’’ පතා ඉතිහාසයේ අධ්‍යාපනය සඳහා ප‍්‍රතිපාදන අඩුම ප‍්‍රතිශතයක් වෙන් කළ, තමාම සංවේදී යැයි කියාගත් පියාද ඔහුය. එනම් 2010 වර්ෂයේ අධ්‍යාපනයට වෙන්කළ මුදල ද.දේ.නි. ප‍්‍රතිශතයක් ලෙස 1.8%කි. එපමණක් නොව පෙළපොත්, විභාග ප‍්‍රශ්්න පත‍්‍ර විභාග ප‍්‍රතිඵල යනාදී සියල්ල මත, සුදුස්සන් වෙනුවට පත් කර ගත් ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියන් විසින් පසුගිය වසර කීපය තුළ ම අසූචි තවරන ලද අයුරුද අප දුටිමු.
උසස් අධ්‍යාපන ක්‍ෂෙත්‍රය ද ඊට නොදෙවෙනි වේ. ‘‘සිසුන් ක්‍ෂිතිජයට ඉහළින් පියාසර කරවමි’’ කියා පටන් ගත් ආණ්ඩුව සිසුන්ගේ පමණක් නොව ආචාර්ය මහාචාර්යවරුන්ගේ ද තටු කැපීමට සැරසෙන අයුරු ජුගුප්සාජනක ය. සිය ගණන් පන්ති තහනම් කළ, හිරේ දැමූ අවස්ථා හා මර්දනය සඳහා ගෙනා කෙළවරක් නැති අතුරු ව්‍යවස්ථා හා චක‍්‍රලේඛ ද ඊනියා නායකත්ව පුහුණු ද ඒ වෙනුවෙනි.
අධිරාජ්‍යවාදීන් විසින් සිය අරමුණු ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් ඉතිහාසයේ තෝරාගෙන ඇති. හොඳම හා ගැතිම තැරැව්කරුවා මහින්ද රාජපක්ෂ නම් වනු ඇත. මූන් නැමැති ලොකු අයියා විසින් යුද අපරාධ චෝදනා එල්ල කර එක පැත්තකින් තරවටු කරන ගමන්ම, ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල නැමැති පොඩි අයියලා ආර්ථික කළමනාකරණයේ හොඳ කියන්නේත් මෙතෙක් දුන් ණය දෙගුණ කරන්නට යන්නේත් ඇයි ද යන්න තේරුම් ගත යුතුය. ඒ අනුව වත්මන් ආණ්ඩුව අද අධිරාජ්‍යවාදයේ හොඳම රූකඩය වී තිබේ. ඊනියා ‘‘සපිරි පාසල්’’ ව්‍යාපෘතීන් ද ‘‘විශ‍්‍රාම වැටුප් පනත්’’ ද ‘‘දැනුමේ කේන්ද්‍රස්ථාන’’ සඳහා වන යෝජනා ද තකතීරු පාලකයන්ගේ නොව ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන්ට අනුව සකසා ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශ්වවිද්‍යාල සඳහා තේරුණු සිසුන්ට අවස්ථා බහුල කිරීමට යැයි කියමින්, රට පුරා උපාධි කඩ දමන්නට සැරසුණු ආණ්ඩුව විශ්වවිද්‍යාලවල ඉඩ පහසුකම් ඇති 20000 සදහා වත් සිසුන් බඳවා ගන්නේ නැත.
ලක්ෂයක් තරම් සිසුන් ට විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවස්ථා අහිමිව තිබෙද්දි ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ප‍්‍රමාණයෙන් ද 5%ක් විදේශීය සිසුන් බඳවා ගැනීමට සැරසේ. පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය සිතූ පරිද්දෙන් ම මුදල් ගැරිල්ලක් නොවූ විට දැන් ආණ්ඩුව රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිය විකිණීමට සැරසෙන්නේ මේ අයුරිණි. මේ සඳහා අය කරන ගාස්තු දෙස බලද්දී මෙය හොඳින් පැහැදිලි වේ. වෛදය උපාධිය සඳහා වන වාර්ෂික ගාස්තුව පමණක් $ / 60,000 ක් වන අතර එය රුපියල් වලින් ලක්ෂ 64 කි. එසේම ඉංජිනේරු උපාධිය $ / 32,000 (රු.ලක්ෂ 34) ක් ද කෘෂි උපාධිය $ / 24000 (රු.ලක්ෂ 25) ක් ද කළමනාකරණ උපාධිය $ / 16,000 (රු. ලක්ෂ 17) ක් හා කලා උපාධිය $ / 12,000 (රු. ලක්ෂ 13) ක් ද යනාදී ලෙස විශාල ඩොලර්කුට්ටියක් ඩැහැගැනීමට සැරසේ. මේ සියලූම මිල ගණන් දැනට පවත්නා හුවමාරු වටිනාකම් වලට අනුව වන අතර රුපියල අවප‍්‍රමාණය වූ විට මෙම ගාස්තු මීටත් වඩා ඉහළ යයි. මෙහිදී විදෙස් සිසුන් යන්න ආරම්භක පියවරක් පමණි.එහෙත් මූලික ඉලක්කය වනු ඇත්තේ දේශීය සිසුන්ය. එය ක‍්‍රියාට නගනු ඇත්තේ ක‍්‍රමිකවය.ලබන වර්ෂයේ සිට මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දී පමණක් නොව කොළඹ, ජයවර්ධනපුර, රුහුණ, පේරාදෙණිය, හා අනෙකුත් සියලූම විශ්වවිද්‍යාලවලද වෛද්‍ය උපාධිය ලක්ෂ 64 කට විකුණනු ලැබේ. අනෙකුත් උපාධීන් ද එසේමය.
ඒ අනුව ආණ්ඩුව මේ සැරසෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල දැනුමේ කෙන්ද්‍රස්ථාන කරන්නට නොව ගිණිගණන් වලට උපාධිය විකුණන කඩ කරන්නටය.එසේම මෙය ඉදිරියේ දී වඩ වඩාත් ව්‍යාප්ත වෙනු ඇත.බදවා ගන්නා අභ්‍යන්තර සිසුන් ප‍්‍රමාණය අඩුකර මුදලට ලබාදෙන උපාධි ප‍්‍රමාණය වැඩිකරනු ඇත. ඒ අතර දැනටමත් ක‍්‍රියාත්මක වන අයුරින්ම අභ්‍යන්තර සිසුන් සදහා විවිධ ගාස්තු හදුන්වාදීමට ද, දැනට අයකරන ගාස්තු දෙගුණ තෙගුණ කිරිමට ද කටයුතු කරනු ඇත.
ඒ අනුව අපේ රටේ උසස් අධ්‍යාපන පුළුල්වූ සමාජ අයිතියක සිට ධනපති අතලොස්සකගේ වරප‍්‍රසාදයක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. එනම් ලංකාව තුළ යළි වැඩවසම් ලක්ෂණ මතුවිමකි.
කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් කාබාසිනියා කරන ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරිම සඳහා රුපියල් මිලියන 2000ක් වැය කිරීමට නොහැකිව කේවල් කරන්නේ මෙවැනි සන්දර්භයක් තුළ ය. රටේ සිටින ඉහළම බුද්ධිමතුන් ද බාල්දු කොට සළකන ආණ්ඩුවක් රට ගෙන යනු ඇත්තේ කොතැනකටද යන්න අමුතුවෙන් කිව යුතු නැත.
ඒ නිසා අද සටන ඇත්තේ ඉතා පටු, ලඝු, හා සරල නොවන පළල් වූ රටේ අනාගතය හා තදින් බැඳුණු අරමුණුත් සමඟය. තෝරා ගැනීමට ඇත්තේ මිනිස් සමාජය ශිෂ්ටාචාරයේ ඉදිරියට ද ම්ලේච්ඡත්වය කරා පසුපසටද ද යන විකල්ප දෙකින් එකකි. ශිෂ්ටාචාරයේ ඉදිරිගමන විශ්වාස කරන සියල්ලෝ සටන් මග තෝරාගෙන සිටිති. අද එහි පෙරමුණ ගෙන සිටින්නේ මේ රටේ ඉහළම බුද්ධිමතුන් පිරිස වන විශ්වවිද්‍යාල ආචාර්යය මහාචාර්යවරුන් වීම සාධනීය ලක්ෂණයකි. එනම් කවදත් පාලකයන් රකින ඊනියා බුද්ධිමතුන් කිහිපදෙනාට එරෙහිව සාතිශය බහුතරයක් වූ ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ නැගීසිටීමක් ලෙසද, එය මෙතෙක් මේ රටේ කිසිවෙකු නොදුටු රිදී ආලෝකයක් ලෙසද අප දකිමු. එසේම මෙම අරගලය අධ්‍යාපනය පමණක් නොව රටේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සඳහා වන පුළුල් සමාජ වෙනසක් කරාද ව්‍යාප්ත කිරීම සදහා අප ඔබට ඇරයුම් කරමු.
ස්තුතියි.
මෙයට,
සංජීව බණ්ඩාර
කැදවුම්කරු
අන්තර් විශ්වවිද්‍යෘලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.