ඇමති බන්දුල කියන සිසු ජීවිත බිලිගන්නට සැරසෙන්නෝ කවරහුද ?

‘‘මෙවර ඇතැම් පාර්ශව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කඩාකප්පල් කිරීමත්, නියමිත දිනට දරුවා අතට ප‍්‍රතිඵල සහතික ලැබීම පමා කිරීමටත්, ඒ තුලින් දරුවන් තුළ සහ රජය කෙරෙහි වෛරයක් ඇති කිරීමටත්, ඒ වෛරය අන්තර් ජාතික වෛර සමඟ සම්බන්ධ වීමෙන් රට තුළ අවුල් ජාලයක් නිර්මාණය කිරීමටත් සැළසුම් සහගත ක්‍ෂූශ්ම වැඩපිළිවෙලක් දියත් වෙමින් පවතී.
එදා එල්.ටී.ටී.ඊ යට හිතවතුන් ලෙස පෙනීසිටි අයත්, රාජ්‍ය නොව සංවිධානවල ඩොලර් සප්පායමෙන් ඔදතෙද වඩවා ගත් පිරිසකුත්, බංකොලොත් දේශපාලන අනාථයන් පිරිසකුත් මෙම අරමුණ මුදුන් පමුණුවා ගැනීමට විවිධ සාකච්ඡා පවත්වමින් සිටිති.’’
ඉහත උපුටනය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා 2011 ජූලි 19 වන දින ලංකාදීප පුවත්පතට සපයා තිබූ ලිපියක සඳහන් වූවකි. මෙතුමා මේ ඉතා බරසාර හා සංවේදී වාක්‍ය ඛණ්ඩ හරහා නොකියා කියන ද්‍රෝහීහු කවරහුද ? උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර අධීක්ෂණයෙන් ඈත් වී සිටින්නේ මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් බව කවුරුත් දනිති. ඔවුන්ට සහය දක්වමින් ගුරු සංගම්ද උසස් පෙළ පිළිතුරු පත‍්‍ර පරීක්ෂා නොකරන බවට දැනටමත් ප‍්‍රකාශකර තිබේ. ඒ අනුව මෙම ද්‍රෝහීන් හා කුමන්ත‍්‍රණකරුවන් ලෙසත්, එන්.ජී. ඕ කාරයින් ලෙසත් ඇමතිවරයා නොකියා කියන්නේ ඔවුන්ටය.
ඇමතිවරයා සිය තීරු ලිපිය පුරාවට අධ්‍යාපනය යනු මේ රටේ දරුවන්ටත්, දෙමාපියන්ටත් තිබෙන එකම බලාපොරොත්තුව හා හව්හරණ වග ඉතා සංවේදී අයුරින් ප‍්‍රකාශ කිරීමට උත්සාහ දරා ඇත. එතුමාගේ ශබ්ද කෝෂයේ සාරගර්බ වචන සියල්ල යොදා කර ඇති උත්සාහය විචිත‍්‍රවත්ය.
ලංකාවේ පාසල් අධ්‍යාපනය ප‍්‍රධාන විභාග තුනක් කේන්ද්‍ර කරගෙන එනම්, පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමන්‍ය පෙළ විභාගය හා අ.පො.ස උසස් පෙළ විභාගය යන විභාග මත පවතින බවත්, දරුවෙක් පළමු ශ්‍රේණියෙන් ආරම්භ කර අධ්‍යාපන හිනිමගේ ක‍්‍රමිකව ඉහළට යන බවත්, එහිදී විවිධ අදියරවලදී ඇද වැටෙමින් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන්නේ ඉතා අතලොස්සක් බවත් ප‍්‍රකාශ කරයි. එය මුළුමනින්ම සත්‍ය කරුණක් වන නමුදු මෙහිදී එතුමා සඳහන් කරන ‘‘ඇද වැටෙමින්’’ යන්න කිසිසේත්ම මෙතැනට නොගැළපේ යැයිද වඩා ගැළපෙන වචනය ‘‘ඇදදැමීම’’ නිසා යන්න බවද මෙහිදී අපගේ අදහසයි.
පළමු ශ්‍රේණියට ඇතුළුවන දරුවෙක් උසස් පෙළ යන මගේදී අතරමග ඇදවැටෙන්නේ ස්වභාවික හේතු නිසා නොව අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ වන දුර්වලකම් නිසාය. පාසලට ඇතුලත් කරන මොහොතේ සිටම දෙමව්පියන්ට තම දරුවන් වෙනුවෙන් අනේක විධ දුක්කන්දරාවකට මුහුණදීමට සිදුවෙති. පාසල් පද්ධතියේ පවතින විෂමතාවය කොතරම්දයත් අංග සම්පූර්ණ පහසුකම් සහිත සුපිරි පාසල් කිහිපයකුත් හා අත්‍යාවශ්‍ය පහසුකම් පවා නොමැති නමට පමණක් වන පාසල් පද්ධතියකුත් ලෙස සිදුව ඇති පාසල් ව්‍යාප්තිය තුළ හදුනාගත හැකිය.
සෑම දෙමාපියෙකුගේම සිහිනය අව්වට වේලෙන, වැස්සට තෙමෙන, ගස් යට පංති කාමර පවත්වන පාසල්වල තම දරුවන් යවන්නන් වාලේ යැවීමට නොව කෙසේ හෝ පහසුකම් සහිත ජනපි‍්‍රය පාසලකට යැවීමය. ඒ සඳහා ඔවුන්ට මහා පොරයක නිරත වීමට සිදුවන අතර හැකියාව ඇති දෙමව්පියන් ඉග ඉහ කනකර සියල්ල පමණක් නොව ගේ දොර වතුපිටි පවා උගස්කර කප්පම් ගෙවමින් තම අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් නැතිබැරි දෙමව්පියන් ගස් ගල් උඩ නැගී උපවාස කිරීමටත් පෙළඹෙති.
මෙවැනි මහා කාලගෝට්ටියකින් ඉක්බිතිව තම දරුවන් පාසල්වලට ඇතුලත් කරගන්නා දෙමාපියන් සැනසුම් සුසුම් හෙළුවද උදාවන සැනසුමක් නම් නැත. වාර්ෂිකව අයවැයෙන් වෙන්වන මුදලද දිනෙන් දින කප්පාදුවට ලක්වේ. (එය 2010 ජාතික පාසල් සඳහා වෙන්කළ මුදල රු.මිලියන 4055 වූ අතර 2011 දී රු.මිලියන 3869 දක්වාද පලාත් පාසල් සඳහා වෙන්කළ මුදල 2010 දී රු.මිලියන 4137 වූ අතර 2011 දී රු.මිලියන 2004 දක්වාද ලෙස එක් වර්ෂයක් තුළ 50% කින් කප්පාදු කර ඇත.ඒ නිසා පාසල් නඩත්තුවද යළි දෙමව්පියන් මතම පැටවේ. පාසල් සංවර්ධන කමිටු හරහා තමන්ට ලැබෙන සොච්චම් වැටුපෙන් පාසල් නඩත්තුවටද විශාල පිරිවැයක් දරන්නට දෙමාපියන්ට සිදුවේ. ඒ මදිවාට පාසල් තුළ දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නේද නැත. පාසල් අතලොස්සක හැර අනෙකුත් සෑම පාසලකම පාහේම ඉංගී‍්‍රසි, විද්‍යා, ගණිත හා සෞන්දර්ය විෂයන් සඳහා ගුරුවරුන් නොමැත. ඒ නිසා ටියුෂන් සඳහාද වියදම් කිරීමට දෙමාව්පියන්ට සිදුවේ.
එසේ වුවද දරුවන්ට ලැබෙන අධ්‍යාපනයට ලැබෙන කිසිඳු සහතිකයක්ද නැත. රාජපක්‍ෂ ආණ්ඩුව පසුගිය වසර පහ තුළ පාසල් පද්ධතිය තම දේශපාලන කෙළිබිමක් බවට පත්කර ගත්තේය. උස් පුටුවලට පත් නුසුදුස්සෝ අහිංසක සිසුජීවිත විනාශ කරමින් පාසල් තුළ ඩෙගා නැටූහ. පෙළ පොතෙහි වැරදි විෂය කරුණු ඇතුලත් කර විකෘති කළේය. වාර විභාගයක්වත් ක‍්‍රමානුකූලව පවත්වන්නට අසමත් වු බංකොලොත්ම ආණ්ඩුව මෙය විය යුතුය. ජාතික මට්ටමේ අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ විභාග පවා අවුල් ජාලයක් කළේය. 2008 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විභාග ප‍්‍රශ්න පත‍්‍රය දෙවතාවක් පැවැත්වීමේ භාග්‍යයද මේ ආණ්ඩුවට හිමි විය. උසස් පෙළ විභාග ප‍්‍රතිඵල පවා වරද්දා තිබුණි.
පුදුමයකි.. දයානුකම්පාවෙන් පිරි අධ්‍යාපන ඇමතිවරයාට මේ කිසිවක් නොපෙනෙන හැටි.
ඇමතිවරයා තම ලිපියෙහි මෙවර උසස් පෙළ විභාගයට සිසුන් 294,000 කට වැඩියෙන් ඉදිරිපත් වන බව ඉතා ආඩම්බරයෙන් සඳහන් කරයි. එතුමා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ. ‘‘සාමාන්‍යයෙන් වර්ෂයකදී උසස් පෙළට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 20,000 ක් 22,000 ක් පමණ විශ්වවිද්‍යාලවලට ඇතුලත් වනු ඇත. එසේ විශ්වවිද්‍යාලවලට ඇතුලත් නොවන අතිමහත් බහුතර ශිෂ්‍ය සංඛ්‍යාව නිසි නිපුනතාවයක් ලබානොගත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශ නොලැබූ උසස් පෙළ හැදෑරූ බවට සහතිකයක් පමණක් සහිත පුද්ගලයන් බවට පත්වේ. ’’ නිසි නිපුනතාවක් නොලැබීම යන්න මෙතුමා සඳහන් කරන්නේ හරියට සිසුන්ගේ වරදක් මෙනි. වාර්ෂිකව උසස් පෙළින් සමත්වන ප‍්‍රමණය 125,000 ද ඉක්මවයි. ඒ අනුව ලක්ෂයකටත් අධික සිසුන් ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට බඳවා නොගනී. ඔවුන් අතර බහුතරය ඉහළ සුදුසුකම් සහිත වූවන්ය. (ඒ සාමාර්ථ තුන සහිත වූවෝද මෙහි වේ.) මොවුන්ට උසස් අධ්‍යාපනය අහිමිද ? ඔවුන් විශ්වවිද්‍යාලවලට බඳවා නොගන්නේ ඇයි ? එහිදී ආණ්ඩුව විශ්වවිද්‍යාලවල ඉඩ පහසුකම් නැතැයිද පුළුල් කිරීමට වුවද මුදල් නැතැයි කියයි.
දැනට වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට වෙන්කරන ප‍්‍රාග්ධන වියදම රු. බිලියන 09 කටත් වඩා අඩුය. මෙය තවත් බිලියන 09 කින් වැඩිකළ හොත් එනම්, දෙගුණ කලහොත් බඳවාගැනීම් විශාල ප‍්‍රමාණයකින් වැඩි කළ හැකිය. එනම්, ලකුණු දශමස්ථානයක් මදිවීම නිසා, (ලකුණු 0.0001 මදිවීම නිසා වෛද්‍ය පීඨයට ඇතුල්වීමට නොහැකිවූ සිසුන් මානසික රෝගීන් වූ අවස්ථා ඕනෑතරම් තිබේ.)විශ්වවිද්‍යාලයට යා නොහැකිව කාලකණ්ණිවන අහිංසක ජිවිත සියගණනක් ආලෝකමත් කළ හැකිය. නමුත් ඒ සඳහා මුදල් නැතැයි කියන ආණ්ඩුවට ඔළමොට්ටල තකතීරුකම්වල ප‍්‍රතිඵලයක් ලෙස ගෙවන්නට සිදුව ඇති හෙජිං පාඩුව රු. බිලියන 55 කි.
එපමණක් නොව මෙතෙක් විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා ලද සිසුන් ප‍්‍රමාණයෙන්ද සිසුන් 1000 ක් කප්පාදු කර විදෙස් සිසුන් දහසක් බඳවා ගනී. මේ සුවහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන අනේක විධ දුක් කම්කටොලූ විඳ උසස් පෙළ ඉහළින් සමත් වුණු දේශීය සිසුන් දහසකට වෛද්‍යවරු, ඉංජිනේරුවන් , කළමනාකරුවන් , විද්‍යාඥයන්, පර්යේෂකයන් වීමට තිබූ අවස්ථාවය. මේ අපරාධය කළෝ කවරහුද ? බන්දුල ඇමතිවරයා කියන ආකාරයට ඔවුහු මව්ගේ තනයේ එල්ලී කිරි උරා නොබීව්වෝවත්ද ? ඇමති බන්දුල කියන විධියට ඔවුන්ට මේ කළ අපරාධයට සහනොගහන්නේ මන් ද?
මෙහි තවත් එක් ඡේදයකදී විෂය මාලා සකස් කිරීම සඳහා කමිටු කැඳවීමේ සිට විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේද විභාග දෙපාර්තුමේන්තුවේද අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තුමේන්තුවේද කෙරුවාව වමාරන්නේ විශිෂ්ඨ මෙහෙයුමකට සූදානම් වන සෙන්පතියෙකු තම බලඇණි පිළිබඳව වගාඩම්බර කියන පරිද්දෙනි. මෙහිදී අපට අසන්නට ඇත්තේ එක් ප‍්‍රශ්නයක් පමණි. පසුගිය කාලය තුළ පෙළ පොත, විභාග ප‍්‍රශ්න පත‍්‍ර, විභාග ප‍්‍රතිඵල වරද්දමින් සිසුන්ගේ ජීවිත මත යකා නටද්දී ඔය කියන බලඇණි සිටියේ කොහිද කියා පමණි.
මෙම අපූරු ලිපියේ අවසාන ඡේද කිහිපය වෙන් වී ඇත්තේ විභාග ප‍්‍රශ්න නොබැලීමේ කුමන්ත‍්‍රණය හෙළි කිරීමට හා ජනතාව වෙනුවෙන් කුමන්ත‍්‍රණකරුවන්ට ඇමතිවරයා විසින් යහමින් සාප කිරීමටය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා සාධාරණ අයිතියක් තිබේ. එසේම ඔවුන්ගේ සටන හුදු වැටුපට පමණක් ලඝු වීද නැත. එය සමස්ත උසස් අධ්‍යාපනයට ආණ්ඩුව දක්වන සැළකිල්ල පිළිබඳව වන ගැටලූවකි. ජීවත්වීමට හරිහමන් වැටුපක් නොලැබීමද, වෘත්තීය ගරුත්වය අහිමිවීමද විසින් තම වෘත්තීය කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරයා කළකිරවනු ලැබේ. එසේම ඔවුන් රට හැරයාම දක්වාම එම හැඟීම බලපායි. දැනට එසේ රට හැරගොස් ඇති ආචාර්ය මහාචාර්යවරුන් ගණන 500 ඉක්මවා තිබේ. එසේම ඔවුන්ගේ ගැටළු නොවිසඳුණුහොත් ඉතිරිව සිටින ආචාර්යවරුන්ගෙන්ද බොහෝදෙනෙක් රට හැරයාම වැළැක්විය නොහැක්කකි.
ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට යන මුදල ගතහොත් රුපියල් බිලයන 02 කි. ආණ්ඩුවට මුදල් නැත්නම් හෝ උපයන සියල්ල සංවර්ධනයට යොදවන්නේ නම් ආණ්ඩුව කවදත් දෙසන නැතිවාදම සාධාරණයැයි සිතීමට ඉඩ තිබුණි. එහෙත් එය අමූලික බොරුවක් බව ආණ්ඩුව සිදුකරමින් තිබෙන නාස්තිකාර වියදම් හරහා සනාථ වේ. උසස් පෙළ සිසුන් අමාරුවේ වැටෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිසා නොව බිලියන ගණන් මහජන මුදල් කාබාසිනියා කරනු ලබන ආණ්ඩුව ඔවුන්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳීමට රුපියල් බිලියන දෙකක් වෙන් නොකිරීම නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අනුව පෙනී යන්නේ සිසුන් 294,000 කට වඩා මේ ආණ්ඩුවට බිලියන දෙකක් වටිනා බව නොවේද?
ඇමතිවරයා වෙලාවට ප‍්‍රතිඵල නිකුත් කළ නොහැකි යැයි කියන්නේ පුදුමාකාර වේදනාවක් මවා ගනිමිනි. දෙමාපියනි, සිසුනි, මේ කිඹුල් කඳුළු තුළ සැඟව ඇති වියරු සාහසික තෘප්තිය ඔබ හදුනාගත යුතුව තිබේ.
උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට වෙලාවට ප‍්‍රතිඵල ලබාදීම අත්‍යවශ්‍ය වේ. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඒ ප‍්‍රතිඵල සහතිකය කුමටද ? එය වටින්නේ සරසවියට යාමට නොවේද ? වෙලාවට ප‍්‍රතිඵල ලැබීම පමණක් ප‍්‍රමාණවත්ද ? වෙලාවට සරසවි යා යුතු නැතිද ? සරසවියට ඇතුළු වූ පසු ආචාර්යවරු නොමැතිව උගන්වන්නේ කවුද? කළකිරීමට පත්වන ආචාර්ය මහාචාර්යවරුන් රටහැර ගිය පසු දෙමපියනි ඔබේ දරුවා සරසවි යවන්නේ කුමටද? ප‍්‍රතිඵල වෙලාවට ලබාගැනීම සේම සරසවියට පිය මනින ඔබේ දරුවා උපාධිය ලබා නිසිකලට සරසවියෙන් පිටවිය යුතු නොවේද ? උපාධිධාරී ඔබේ දරුවාට රැකියාවක් අවශ්‍ය නොවේද ?
පුදුමයකි.. ගරු ඇමතිතුමාට මේ සියල්ල අමතකවීද ? මේ සියල්ල වෙනුවෙන් ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉටුකළ යුතු නොවේද ? ඇමතිවරයාගේ මෙම උත්සාහය මේ රටේ දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් උගන්වන ආචාර්යවරුන්ට එරෙහිව උරණ ගන්වා පැත්තකට වී බලා සිට වියරු ලෙස සතුටුවීම නොවේද ?
මේ අනුව ඇමති බන්දුල කියන මේ රටේ දරුවන්ගේ හීන පොඩිකළ කුමන්ත‍්‍රණකරුවන් කවරහුද ? එනයින් සැබෑ ජනතා ද්‍රෝහීන් කවුද ? දරු සෙනෙහස නොදන්නෝ කවරහුද? ඇමතිවරයාගේම වචන වලින්ම සහගහන මේ අපරාධයේ වරදකරුවා කවුද ? ඇමතිතුමනි, කැඩපත ඉදිරියට යන්න වරදකරුවා පෙනේවි.


සංජීව බණ්ඩාර
කැදවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය.