අගෝස්තු 30ට පෙර විසඳුම් අවශ්‍යයි,ලංකා ගුරු සේවා සංගමය.

අගෝස්තු 30ට පෙර ගුරුවරුන්ගේ ගැටළු විසඳීමට කටයුතු නොකළහොත් නැවත දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.
09 දා පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසීය.
පසුගිය ජූනි 06 වන දින අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන,අධ්‍යාපන ලේකම් එච්.එම්. ගුණසේකර මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි මෙම ගැටලු විසදියයුතු බව ඔහු එහිදී පැවසීය. ගුරු වැටුප් විෂමතාවයට මේ වන විට වසර 14ක් ගතවී ඇති බවත් ඊට ලබාදුන් විසදුම් මැතිවරණ පොරොන්දුවලට පමණක් සීමාවී ඇති බවද ඔහු පැවසීය.මීට අමතරව 2008.12.31 සිට වසර 2යි මාස 8ක් තිස්සේ ගුරු සේවයේ උසස්වීම් ලබා දී නොමැති අතර ඒ නිසාම ලක්‍ෂයකට ආසන්න ප‍්‍රමාණයක් උසස්වීම් අහිමි වී සිටින බවද ඔවුන්ට විශාල හිඟ වැටුපක් ලැබිය යුතුව පවතින බවද මහින්ද ජයසිංහ මහතා පෙන්වාදුන්නේය. තවද 2008.12.31දක්වා උසස්වීම් ලද ගුරුවරුන්ටද මේ දක්වා හිඟ වැටුප් ගෙවා නැති අතර රට පුරාම මිලියන 5000කට ආසන්න ප‍්‍රමාණයක් හිඟ වැටුප් ලෙස ගෙවිය යුතුව ඇති බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියයේය.