නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජනතා පෙත්සම...
අධ්‍යාපනය යනු සමාජයක යහපත් ඉදිරි පැවැත්මක් සඳහා අත්‍යවශ්‍ය කාරණාවකි. ඒ තුළ මිනිසුන් දසදහස් ගණනක් සොයාගත් දැනූම අත්දැකීම් ආදිය අන්තර්ගතය. එම නිසා අධ්‍යාපනය යනු සමස්ත සමාජයක අයිතියකි.
එයට මුල්‍යමය අගයක් නියම කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැත එසේම එම දැනුම ලබා ගැනීමට කිසිවෙකුටවත් තම ජාතිය, ආගම, ස්ත්‍රි පුරුෂ භාවය කුලය, ගෝත්‍රය ආර්ථීක හැකියාව, මේ කිසිවක් බාධාවක් නොවිය යුතුය. අධ්‍යාපනය හරහා ඉගැන්විය යුත්තේ මෙකී විෂමතාවයන් තුලින් සමාජයට සිදුවන අයහපතයි. නමුත් අධ්‍යාපනය ලබා ගැනීමේදී ඉහත ඛෙදීම්වලට මුහුණ දීමට සිදුවුවහොත් එය සමස්ත සමාජයටම බරපතල ප්‍රශ්නයක් වනු ඇත.
මේ වන විට අප රට තුළ උද්ගත වෙමින් පවතින්නේ එවැනි තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් තුළත් අධ්‍යාපනය, සෞඛ්‍යය විකිණීම ආණ්ඩුවේ නිශ්චිත ප්‍රතිපත්තිය බවට පත්වී ඇත. මාලඹේ සයිටම් යනු එහි නියමු ව්‍යාපෘතියයි. සයිටම් ආයතනය ආරම්භක මොහොතේ පටන් පාලකයන්ගේ අභිප්‍රාය වුයේ අධ්‍යාපනය විකිණීමට ආදාළ සුජාත භාවය ලබා ගැනීමයි. කෙතරම් හොර වංචා සහගත දුෂිත ආයතනයක් වුවද විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන සියලූ ව්‍යුහයන් භාවිතා කරමින් ආණ්ඩුව සයිටම් ආයතනය නීතිගත කිරීමට දරණ නින්දිත උත්සාහය ප්‍රසිද්ධියේ පෙනෙන්නට තිබේ. සයිටම් නීතිගත කිරීම හරහා සිදු කිරීමට නියමිතව ඇත්තේ අධ්‍යාපනය විකිණීම සඳහා අවශ්‍ය ඉඩකඩ විවර කිරීමය. නමුත් ඒ හරහා තවත් දහස් ගණනකගේ අධ්‍යාපනය අයිතිය අහෝසි වීම නොසලකා හැරිය හැකි ප්‍රශ්නයක් නොවේ. මේ වන විට ලක්ෂ 3කට වැඩි පිරිසක් වසරකට උසස් පෙළ විභාගයට මුහුණ දී ඉන් 150000ක ප්‍රමාණයක් සමත් වුවද විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන්නේ 25000ත් 27000ත් අතර ප්රමාණයකි. නමුත් සෑම වසරකම විශාල පුරප්පාඩු ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවල පවති. එසේම බඳවා ගැනීම් ඉහළ දැමීමක්ද සිදු නොවේ. ඊට හේතුව අධ්‍යාපනය විකිණීමය. මන්ද පුරප්පාඩු තිබීම හරහා එම ඉඩකඩ විකිණීමට අවස්තාව ලැබේ. බඳවා ගැනීම් කප්පාදු කිරීම හරහා ඉතිරි පිරිසට පෞද්ගලික විශ්වවිද්‍යාල යන විකල්පය තෝරා ගැනීමට සිදු කර ඇත.
සරසවි බඳවා ගැනීම් වැඩි කිරීමට අත්‍යවශ්‍ය කාරණය නම් ඒ සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමයි. නමුත් පසුගිය වසර කිහිපය පමණක් සලකා බැලූවත් වසරින් වසර අධ්‍යාපනය ක්ෂේත්රයේ ප්‍රතිපාදන කප්පාදු කර ඇත. ප්‍රතිපාදන කපා දැමීම හරහා සිදු වන්නේ රජයේ පාසල් විශ්වවිද්‍යාල ඇතුලූ අධ්‍යාපන ආයතන අඩපන වීමයි. ඒ හරහා නැවත ඉඩකඩ විවර වනුයේ අධ්‍යාපනය විකිණීම වෙනුවෙනි. ලෝකයේ ඉතා දිළිදු ආර්ථීකයක් ඇති රටවල් පවා අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශිය නිශ්පාදනයෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරනුයේ ශක්තිමත් අධ්‍යාපන ක්ෂේත්රයක් නොමැතිව එම රටවලට ඉදිරියට යාමක් ගැන සිතිය නොහැකි බැවිනි. නමුත් අප රට තුළ සිදු වන්නේ වසරින් වසර ප්‍රතිපාදන කප්පාදු කිරීමයි. පාසල් තුළින් මුදල් අය කිරීමට නීත්‍යානූකූල අවසරයක් ලබා දීමද පෞද්ගලිකකරණ ව්‍යාපෘතියේම එක් කොටසකි. තම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් තෙවරක් මුදල් ගෙවීමට මෙරට දෙමව්පියන්ට සිදුව ඇත. එනම් බදු මුදල්, ටියුෂන් සහ පාසලට ගෙවන ගාස්තු ලෙසයි. ඒ අනුව පාසල්වලින් මුදල් අයකරමින් පාසල් නඩත්තුව සම්පූර්ණයෙන්ම දෙමව්පියන් මත පටවා ඇත. දෙමව්පියන්ට නඩත්තු කළ නොහැකි පාසල් වැසි යනු ඇත.
එසේ නම් වත්මන් පාලකයින් අධ්‍යාපන අයිතිය බලහත්කාරයෙන් අහෝසි කරමින් සිටිනුයේ පාසල් වල මුදල් අය කිරීමේ සිට සයිටම් වැනි ආයතන වලට අනුග්‍රහය දක්වමිනි. මේ වනවිටත් සයිටම් ගැටලූව මුලික කරගනිමින් ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා නැගෙමින් පවති. එම විරෝධතා නොසලකා ආණ්ඩුව කටයුතු කරන්නේ නම් රටක ජනතාව ලෙස අප මීට අපගේ විරෝධය පල කරන්නෙමු. ඒ සදහා පහත සටන් පාඨ වල ඉල්ලීම් ලබා දීමට ආණ්ඩුවට බල කරමින් මෙම පෙත්සමට අත්සන් තබන්නෙමු.
• මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු..!
• දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට ප්‍රතිපාදන 6% ක් වෙන් කරනු..!
• සරසවි බඳවා ගැනීම් ඉහල දමනු..!
• පාසල් තුල සිදු කරන මුදල් අය කිරීම් නවතනු..!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment