අලි මදිවට හරක්! තවත් උපාධි කඩයක්...

ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලය නමැති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් සමග එක්ව වෛද්‍ය උපාධිය මුදල් ගෙවා ලබාගත හැකි තවත් පෞද්ගලික ආයතනයක් පිහිටුවන්නට ආණ්ඩුව සූදානම්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය විසින් අද (19) සවස පැවැත්වූ ජනමාධ්‍ය සාකච්ඡාවකදී හෙළිකළ අන්දමට සයිටම් අර්බුදය අධිකරණයෙන් විසදන බවට කල් යල් බලා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර චෝදනා කළේය.

අ.වි.ශි.බ.ම. ඉදිරිපත් කළ තොරතුරු අනුව, පසුගිය ජනවාරි 27 වැනිදා අමාත්‍ය මන්ඩල යෝජනාවක් ඉදිරිපත් කරමින් 2017 අයවැයෙන් ඉදිරිපත් කළ රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය යෝජනා යටතේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ස්ථාපිත කිරිමට කටයුතු කරමින් සිටින බව සනාථ වී තිබේ. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු ඇමැති මලික් සමරවික්‍රමගේ අත්සනින් ඉදිරිපත් කළ මෙම කැබිනට් පත්‍රිකාව අනුව, මනිපාල් අධ්‍යාපන ආයතනයක් ලංකාවේ කලුතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට ආයෝජන පදනමින් නාමික අගය යටතේ දිගුකාලීන බදු ක්‍රමයට ඉඩමක් ලබාදීමටද උසස් අධ්‍යාපන ඇමතිවරයා සහ ජාත්‍යන්තර වෙළෙද කටයුතු ඇමතිවරයා යෝජනා කරයි. මනිපාල් ආයතනය විසින් අමෙරිකන් ඩොලර් මිලියන 70ක් ආයොජනය කිරිමට සූදානම් බවද කැබිනට් පත්‍රිකාවේ සදහන්ය.

ඒ කැබිනට් පත්‍රිකාවත් සමග වෛද්‍ය උපාධි විකිනීමට යෝජිත මනිපාල් ආයතනය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුමක්ද ඇමතිවරුන් හමුවට ඉදිරිපත් කර තිබේ. පසුගියදා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින්ද මෙම යෝජිත පෞද්ගලික උපාධි ආයතනය පිළිබද ඉගි කර තිබිණී.