සරසවි සිසුන් ගැන විමර්ශනයක්.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස අභියාචනාධිකරණය දුන් නියෝගයට විරුද්ධව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පසුගියදා (2දා) පැවැත්වූ උද්ඝෝෂණයට සම්බන්ධ වූ විශ්වවිද්‍යාල සිසුන් පිළිබඳ විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පෙරේදා (15දා) නියෝග කළාය.

එලෙස නියෝග කරනු ලැබුවේ එම උද්ඝෝෂණයට සම්බන්ධ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික සිසුන් 22ක් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයන් පැවැසුවේ සාමකාමී ලෙස එම උද්ඝෝෂණය පවත්වා ඇති බවත් එම පිරිස පොලිසිය එල්ල කරනු ලැබූ කඳුළු ගෑස් සහ පහරදීම්වලින් බේරීම සඳහා කොටුව සම්බෝධි විහාර භූමියේ රැඳී සිටියදී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. කොටුව පොලිසිය නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි පොලිස් නිලධාරියා අධිකරණය හමුවේ පැවැසුවේ මං මාවත් පනත උල්ලංඝනය වන පරිදි මහජනතාවට පීඩාවන අන්දමට එම උද්ඝෝෂණය පැවැත්වීම හේතුවෙන් පුද්ගලයන් විශාල පිරිසක් පීඩාවට පත්වූ බවයි.

උද්ඝෝෂණයට සම්බන්ධ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික සිසුන් තවත් 12 දෙනකු අත්අඩංගුවට ගැනීමට තිබෙන බවද එම නිලධාරියා අධිකරණය හමුවේ පැවැසුවේය.

කොටුව මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට උද්ඝෝෂණයේ යෙදීමට නීතියෙන් අවසර තිබුණත් පාරවල් අවහිර කරමින් මහජනතාවට පීඩා ඇති වන පරිදි උද්ඝෝෂණයේ යෙදීමට නීතියෙන් අවසර නොමැති බවයි. මාර්තු 31 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.