නොවැම්බර් 21 න් උසස් පෙළ ඇගැයීම් අවසන්...

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු නොවැම්බර් 21 වැනිදා වන විට අවසන් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි.
අදියර කිහිපයක් යටතේ උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු කරන බවත්, පළමු අදියර ඇගයීම් කටයුතු ලබන 17 වැනිදා දක්වා කරන බවත් කොළඹ හා නුවර පිහිටි මධ්‍යස්ථාන හතරකදී එම කටයුතු කරන බවත් ඔහු පැවැසුවේය. දෙවැනි අදියරේ ඇගැයීම් කටයුතු ඔක්තෝබර් 18 වැනිදා සිට ඔක්තෝබර් 23 වැනිදා අතර කාලය තුළදී කරන බවද පැවසීය.

දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ගුරුවරුන් 8785 ක් සහභාගි වීමට නියමිත බවද කීවේය. තුන්වැනි අදියරේ ඇගයීම් කටයුතු නොවැම්බර් 12 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළදී කිරීමට නියමිත බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය. මේ අතර උසස් පෙළ ඇගයීම් කටයුතු පවත්වන පාසල් තිහක් ඔක්තෝබර් 24 වැනිදා සිට නොවැම්බර් 6 වැනිදා දක්වා වසා දමන බව හෙතෙම සඳහන් කළේය. එසේ වසා තබන පාසල් අතරින් පාසල් 13 ක් සම්පූර්ණයෙන්ම වසා තබන අතර අනෙක් පාසල් කොටස් වශයෙන් වසා දමයි. මෙසේ වසා තබන පාසල් ‍ලේඛනය සකස් කර අවසන් නොමැති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.