සරසවි සිසු මරණ සිදුවූ රාත‍්‍රියේ පීඑස්ඞීයේ ජීප් දෙකක් සහ මෝටර් සයිකල් දෙකක් එම ප‍්‍රදේශයේ...

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූවා යැයි කියන සරසවි සිසුන් නායකයන් දෙදෙනාගේ මරණ ජනාධිපති ආරක්ෂකයන් විසින් සිදුකරන ලද සැලසුම් සහගත ඝාතනයක් බවට සැක සහිත සාක්ෂි ‘ලංකා ඊ නිව්ස්’ වෙත ලැබී තිබේ.
ඝාතනය සිදුවූ දින රාත‍්‍රියේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ජීප් රථ දෙකක් සහ මෝටර් සයිකල් දෙකක් එම ප‍්‍රදේශයේ සැරි සරා ඇති අතර ඒවා පොලිසියේ රාත‍්‍රී ජංගම මුර සේවා වෙත වාර්තා වී තිබේ. මෙම සිසු ඝාතනයන් ගැන ‘ලංකා ඊ නිව්ස්’ විසින් ස්වාධීන ගවේෂනයක් සිදු කරන අතර ඊයේ හෙළි වූ තොරතුරු මහජනයා වෙත ගෙන ආවේ ය. අප ගවේෂනයේ දෙවැනි දවසේ තොරතුරු අනුව ඉහත තොරතුරු හෙලි වී තිබේ. පොලිස් අභ්‍යන්තර ආරංචි අනුව සැක කෙරෙන්නේ ඝාතනය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන සංජීව බණ්ඩාර ඉලක්ක කර සැලසුම් කරන ලද්දක් වුවත් එය මග හැරී වෙනත් දෙදෙනෙකු ඝානතය වූ බවකි.


අනතුර සිදුවූ දා සිසුන් ගමන නිමාකෙළේ නිට්ටඹුවෙනි. එදින මධ්‍යම රාත‍්‍රිය පසුවී තිබියදී යක්කල සහ නිට්ටඹුව අතර ඇති මල්වත්ත හන්දියේදී සහ යක්කල ඔරුතොටවත්ත හන්දියේදී සැක කටයුතු ජීප් රථ දෙකක් නවතා ප‍්‍රශ්න කර ඇති ප‍්‍රදේශයේ පොලිස් රාත‍්‍රී ජංගම මුර සේවා වෙත ජීප් රියේ සිටියවුන් පවසා ඇත්තේ තමන් පීඑස්ඞී බවයි. එනම් තමන් ජනාධිපති ආරක්ෂක අංශයේ බවයි. එම අවස්ථාවේදීම පොලිසියේ තවත් රාත‍්‍රී ජංගම මුර සේවාවකට වේයන්ගොඩ දුම්රිය හරස් පාර අතර දී සැක කටයුතු මෝටර් සයිකල් දෙකක් නවතා තිබියදී ප‍්‍රශ්න කර ඇති අතර ඔවුන්ද පවසා ඇත්තේ තමන් පීඑස්ඞී එකේ බවයි. එනම් ජනාධිපති ආරක්ෂක අංශයේ බවයි. මේවා පිළිබඳ ඒ නිලධාරීන් සටහන් තබා තිබේ.

පීඑස්ඩීය යනු මේ වන විට පොලිස්පතිවරයාට හෝ හමුදාපතිවරයාට හෝ සම්බන්ධ නැති රාජපක්ෂලා විසින් මෙහෙයවන අතුරු හමුදාවක් වී ඇති බව ‘ලංකා ඊ නිව්ස්’ මීට පෙර කරුණු සහිතව හෙලි කර තිබේ.

ජනාධිපතිවරයා කොළඹ සිටියේ නම් නිට්ටඹුව ප‍්‍රදේශයේ කිසිදු සංචාරයක් සූදානම් කර නැතිනම් ජනාධිපති ආරක්ෂක අංශයේ ජීප් රිය දෙකක් සහ මෝටර් සයිකල් දෙකක් නිට්ටඹුව අවට ප‍්‍රදේශයේ සැරිසරුවේ අහවල් රාජකාරියකටද යන්න ගැටළුවකි.

ඒ ගැටළුව නිරාකරණය කරන ලංකා ඊ නිව්ස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ සිරගෙදරින් නිදහස් කරන ලද අන්තරේ සිසු නායකයා ඝාතනය සඳහා මෙම කණ්ඩායම තැටමූ බවයි. සිසු නායකයා මෝටර් සයිකල් භාවිතා කරන බව දන්නා බවත් ඒ අනුව ඔහුව හඹා ගිය බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. සිසුන් දෙදෙනා ගමන් ගත් මෝටර් සයිකලයේ අන්තරේ කැඳවුම් කරු සිටින බව සිතා පීඑස්ඩ් මෝටර් සයිකල් කරුවන් විසින් එය හඹා යද්දී අධික වේගයෙන් යන සිසුන්ගේ සයිකලය හප්පා දැමීමට අතර මග ඇති පීඑස්ඩ් ජීප් රථ වලට දැනුම් දීමෙන් පසු ඔවුන් තම ‘රාජකාරිය’ ඉටු කරන ලද බව පොලිසියේ අභ්‍යන්තර මතයයි.

මෙම කාරණාව අන්තරේ කැඳවුම් කරු ඊයේ හෙලි කළ කරුණු සමගද සමපාත වේ. එනම් වැඩබලන කැඳවුම්කරු විසින් මෙම මෝටර් සයිකලය මිය ගිය දෙදෙනාට දෙද්දී තමා පසුපස සැකකටයුතු අය හඹා ආ බවත් පරිස්සමින් යන ලෙසත් අනතුරු අඟවා තිබේ.

මෙය වඩාත් තහවුරු වන්නේ අනතුරට පත්වූ දෙදෙනා අවසන් වරට වෙන්වූ ස්ථානයේ සිටි අයගෙන් කට උත්තරයක් පොලිසිය විසින් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළයුතු වුවත් අද දක්වා එවැනි කට උත්තරයක් ලබා ගෙන නැති වීමෙනි. එවන් කට උත්තරයක් ලබා ගත්තානම් මෙම අනතුර ‘හිට් ඇන් රන්’ ඝනයට වැටෙන අතර පොලිස් පරීක්‍ෂණ ඒ අනුව කළයුතු වන බැවින් හිතා මතා එය මග හරින ලද බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මාර්ග අනතුරකදී වෛද්‍ය වරුන්ගේ හෝ මහේස්ත‍්‍රාත් වරයාගේ මරණ පරීක්‍ෂණ වලට වඩා ඉතා වැදගත් වන්නේ පොලිස් රථ වාහන අංශයෙන් සිදුකෙරෙන මූලික පරීක්‍ෂණයයි. එය හරි හැටි ඉටු නොකොට මරණ පරීක්‍ෂණ සිදුකළාට වැඩක් නොවේ. වෛද්‍ය වාර්තාවේදී අනතුරින් හිස්කබලට සිදුවූ හානි නිසා මරණය සිදුව ඇති බව කීවද හිස්කබලට හානි සිදුවූ අනතුර වෙනත් අයෙක් හප්පා සිදුකළාදැයි යන්න වෛද්‍ය වාර්තාවෙන් කිව නොහැකි වේ.

අනතුරකින් පසු වෙනත් අයෙක් ඇවිත් යකඩ පොල්ලකින් ගසා ඔළුව කුඩු කර මරා දැමුවද වැටෙන්නේ අනතුරේ එකවුන්ට් එකටය. වෛද්‍ය වාර්තා වලින් එය සෙවීමට ඇති ඉඩකඩ අල්පය. ඒ සඳහා මූලික පොලිස් පරීක්‍ෂණ අත්‍යාවශ්‍ය වේ. මෙම අනතුරේදී සිදු කර නැත්තේද එම මූලික පොලිස් පරීක්‍ෂණයයි. අඩුම ගණනේ මාධ්‍ය වලට වොයිස් කට් දුන් අහල පහල අය

ගෙන් හෝ අනතුර ගැන කට උත්තර රැගෙන නැත. ඇක්සිඩන්ට් එකක් සිදුවනවා තමාට නෑසුණ බව එක් අසල් වැසියෙක් මාධ්‍යයට පවසයි. එය ඉතා වැදගත් ය. නමුත් ඔහුගේ කට උත්තරයක් පොලිසිය රැගෙන නැත.

මේ අතර තෙහෙට්ටුවට නින්ද යෑම නිසා සිසු මරණ සිදුවූවා යැයි මතයක් ගෙන යන බැවින් ඒ ගැන ලංකා ඊ නිව්ස් ලන්ඩනයේ සේවය කරන මොළය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සහ ස්නායු සම්බන්ධ වෛද්‍ය වරයෙකුගෙන් විමසා සිටියේ ය. දෙදෙනාම ශ‍්‍රී ලාංකිකයන් වන අතර එක් අයෙක් තම තරුණ වියේ මෝටර් සයිකල් අත් දැකීම් බහුල අයෙකි. ඔවුන් කීවේ මෝටර් සයිකලයක් පදින පුද්ගලයෙකුට නින්ද යෑමේ සම්භාවිතාවය ඉතා අඩු බවකි. මුහුණට සුළං වැදීම නින්ද යෑම අවම කරවන බව කී වෛද්‍යවරුන් දෙදෙනා අඩු සම්භාවිතාවයකදී වුව සයිකලය පදින පුද්ගලයාට නින්ද ගියද පළමුව සිදුවන්නේ ඔහුගේ ඉච්ඡුානුග ක‍්‍රියාවන් නතර වීම නිසා සයිකලයේ ඇක්සලරේටරය අතහැරෙන බවයි. ඒ අනුව සයිකලයේ වේගය අඩු විය යුතු වනවා මිස වැඩි වීමක් සිදුවිය නොහැක. සයිකලයේ වේගය අඩුවී සිරුරේ සමබරතාවය ගිලිහී සයිකලය වැටිය යුතු යැයි ඔවුන්ගේ මතයයි. මෙවැනි සිදුවීමකදී මරණයක් සිදුවීම ඉතා විරලයැයි ඔව්හු පවසති. ඔවුන්ගේ දීර්ඝ සේවා කාලය තුල මත්ද්‍රව්‍ය භාවිතා නොකළ අයගේ එවැනි මරණ දැක නැති බවද ඔව්හු පවසති.

ඔවුන් කී අනෙක් කාරණාව නම් සයිකලයේ දෙදෙනෙකු ගමන් ගත්තා නම් දෙදෙනාටම එකවර නින්ද යෑමට නොහැකි බවයි. නින්දේ අවස්ථා තුනක් ඇති අතර සයිකලය පදින්නාට නින්ද ගියේ නම් පළමු අවස්ථාවේදීම අනෙකාට එය දැනෙන බවත්, පසුපස ගිය අයට නින්ද ගියහොත් එය සයිකලය පදින කෙනාට දැනෙන බවත් ඒ නිසා දෙදෙනෙකු සයිකලයක ගමන් කරද්දී එකවර නින්ද ගොස් දෙදෙනාටම මාරාන්තික අනතුරක් වීමේ හැකියාව දශම ගණනක් බවත් එම වෛද්‍යවරු දෙපොල පැවසූහ. සිරුර සමබරව තබා ගැනීමත් නින්ද යෑමත් දෙකම මොළයේ කාර්යයක් බැවින් ඒ දෙක එකිනෙක පරස්පර තත්ත්වයකට මොළය විසින්ම පත් කර නොගන්නා බව වෛද්‍ය මතයයි.

(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)