සරසවිවලට අමතර සිසුන් 4928ක් ගන්න අනුමැතිය...

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව යෝජනා කළ පරිදි විශ්වවිද්‍යාලවලට අමතර සිසුන් 4928 දෙනෙකු ඇතුළත් කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) අවසර ලබාදී තිබේ.
ඉසෙඩ් ලකුණු අගයන් ප්‍රකාශයට පත් කිරීමේ දී අගතියට පත් වු බව පවසමින් සිසුන් 400 කට අධික පිරිසක් විසින් පෙත්සම් 07 ක් ඉදිරිපත් කර තිබිණි. අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, කේ.ශ්‍රී පවන්, නිමල් ගාමිණී අමරතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගයට ගැනිණි. එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වු ක්‍රමවේදයන් 04 ක් අද (03) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය. පළමු ක්‍රමවේදයට අනුව සිසුන් 3675 ක්, දෙවන ක්‍රමවේදයට අනුව සිසුන් 3048 ක් තෙවන ක්‍රමවේදයට අනුව සිසුන් 4928 සහ සිව්වන ක්‍රමවේදයට අනුව සිසුන් 4457 ක් විශ්වවිද්‍යාල සඳහා අමතර වශයෙන් ඇතුළත් කරගත හැකි බව ප්‍රතිපාදන කොමිසම දැනුම් දුන්නේය. ඒ අනුව තුන් වන ක්‍රමවේදයට අදාළව සිසුන් ඇතුළත් කරගැනීම සිදුකරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල දැනුම් දී ඇත. මෙහිදී ප්‍රතිඵලවලට අදාළව ජාතික සහ දිස්ත්‍රික් මට්ටමේ කුසලතාවන් ප්‍රකාශයට පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස්වරයා වෙත නියෝග කර තිබේ. පෙත්සම් ඉදිරිපත් කළ සිසුන් වෙනුවෙන් පෙනී සිටින නිතීඥයින් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරින් සමඟ එක්ව සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් අදාළ ක්‍රමවේදයන් සකස් කළ බව නීතිපතිවරයා දැනුම් දුන්නේය. පසුගිය ජුනි මස 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව එය සකස් කර ඇත. ඒ අනුව සැප්තැම්බර් 12 වන දින අදාළ පෙත්සම් විභාගය යළි සිදුකිරීමට නියමිතය.