මග හොඳට තිබේ නම් : දෑසත් හොඳින් පේනේ නම්...

අධ්‍යාපනයේ අර්බුදයත් ඊට එරෙහි අරගලයත් මේ දිනවල දෛනික ප‍්‍රවෘත්ති නිර්මාණය කරන තත්ත්වයට පත්ව ඇත. විශේෂයෙන්ම දශක ගණනාවක් පුරා නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමට සටන් වැදුනු ශිෂ්‍ය ව්‍යාපාරයේ භූමිකාවට සරසවි ආචාර්යවරුන්ද, පාසල් සිසුන්ද සම්බන්ධ වී ඇත. අරගලය පුළුල් වී ඇත. සටන් බිම උණුසුම් වී ඇත.

ලංකාව තුළ කි‍්‍රයාත්මක වන ‘‘නිදහස් අධ්‍යාපන සංකල්පයට’’ බොහෝ දෙනෙක් පවසනුයේ නොමිලේ අධ්‍යාපනය ලබාදීම කියාය. එහෙත් සත්‍ය තත්ත්වය වන්නේ ජනතාව, සෑම මිලදී ගැනීමකදීම ගෙවන බදු මුදල් අධ්‍යාපනත් සෞඛ්‍යයත් හා යටිතල පහසුකමුත් ගොඩනැගීම වෙනුවෙන් යොදවන බවට පාලකයන් පොරොන්දු දී තිබීමයි. සැබවින්ම ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය එක්තරා ආකාරයක පෙරගෙවුම් සේවාවකි. ‘‘නිදහස් අධ්‍යාපනය’’ යන්න තුළ ඇති සැබෑ අරුත වනුයේ ‘‘අධ්‍යාපනයේ සම අයිතිය’’ සැලකිය යුතු ප‍්‍රමාණයකින් තහවුරු වී තිබීමයි. අධ්‍යාපනයේ සම අයිතිය යනු ජාති, ආගම්, කුල, ලිංග, වර්ණ හා පන්ති (ඇති නැති) භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියයි. වර්තමානයේ අපි භුක්ති විදින මෙම අධ්‍යාපන ක‍්‍රමය තුළ එය 100% කින්ම තහවුරු වී නැති බව දනිමු. එහෙත් එය අද ලැබී තිබෙන ප‍්‍රමාණයට හෝ  ආරක්ෂා වූයේ ඉතිහාසයක් තුළ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කළ අරගලය නිසාය. 1980 දශකයේ අවසානය වන විට සරසවි සිසුන් 623 දෙනෙකුගේ ජීවිත පාලකයන් උදුරාගනු ලැබුයේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමටත් වඩායහපත් සමාජයක් නිර්මාණය කිරීමටත් දරන ලද උත්සාහය නිසාවෙනි.

පසුගිය කාලය තුළත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනඑන බවට වත්මන් අධ්‍යාපන ඇමතිවරයා මොර දුන්නේය. ඒ සඳහා 2010 වසරේ මැයි මාසයේ ඔහු සිය අමාත්‍ය ධුරය බාරගත් මොහොතේ සිට කටයතු කළේ සැලැස්මකට අනුවය. ඒ සැලැස්මේ ශේෂ පත‍්‍රය දැන් අප සතුව ඇත. 2010 මැයි මාසයේ සිට 2012 ජනවාරි දක්වා පන්ති තහනම් කිරීමට ලක් වූ සිසුන් ප‍්‍රමාණය 1000 කට ආසන්නය, සිරගත කළ සිසුන් ප‍්‍රමාණය 100 කට ආසන්නය. එක් එක් අවස්ථාවල තහනම් කරන ලද ශිෂ්‍ය සංගම් ප‍්‍රමාණය 35 කි. සිසුන්ට පොලිසිය ලවා පහරදුන් අවස්ථා ගණනාවකි. තවද රුහුණ සරසවියේ සුසන්ත බණ්ඩාර සහෝදරයාට සිය ජීවිතය ද අහිමි විය. මේ සියල්ල හරහා පාලකයන් කි‍්‍රයාත්මක කිරීමට යත්න දැරූ ප‍්‍රධාන ප‍්‍රතිසංස්කරණ දෙකකි. පළමුවැන්න පෞද්ගලික විශ්වවිද්‍යාල පනතයි. දෙවැන්න රාජ්‍ය සරසවි තුළ පාඨමාලා විදෙස් සිසුන්ට විකිණීමයි. නමුත් 2012 ජනවාරි වන විට දැවැන්ත මර්දනයක් මැදින් ගෙනගිය අරගලය හරහා මේ යෝජනා දෙකම පරාජය කිරීමට හැකිවිය.

ආචාර්ය අරගලය ඇරඹුණේ 2010 වසරේදීය. එහි ආරම්භක මොහොතේදී තෝරාගත් සටන් පාඨය වූයේ වැටුප් පිළිබඳ ප‍්‍රශ්නයයි. බොහෝදෙනා අතර කියවුණ ආකාරයට එහි නායකත්වය විසින් එය පාවාදීමකට ලක්වී කෙළවර විය. එම නිසාම එහි දෙවන අදියරේදී නව නායකත්වයක් අතට එය පත්විය. දෙවන අදියර ද ඉහත සටන් පාඨම මුල්කරගත්තක් විය. නමුත් එහි තුන්වන අදියර වන විට එය වඩා පුළුල් තත්ත්වයකට වර්ධනය විය. එලෙස පුළුල් සටන් පාඨ වලට පැමිණීම එහි නායකත්වය විසින් සිදුකරනු ලැබූ සාධනීය හා දුෂ්කර මැදිහත් වීමක ප‍්‍රතිඵලයක් විය යුතුය. වෘත්තීය ප‍්‍රශ්නයට සීමා නොවී පුළුල් සටන් පාඨ වෙත පැමිණීමට ඔවුන් කළ එම වෙහෙසකාරී අරගලය පැසසිය යුතුය, ගෞරවය හිමිවිය යුතුය.

මාස ගණනක් පුරා ඇදී යන අඛණ්ඩ වැඩ වර්ජනයක් හරහා ආචාර්ය සංගමය ආණ්ඩුවට එල්ල කර ඇති අභියෝගය සුළුපටු නොවේ. මෙය වැටුප් ප‍්‍රශ්නයට සීමා නොවී සිය සටන් පාඨ පුළුල් කිරීම හරහා ඔවුන් වෘත්තීය සමිති අරගලයට නව ව්‍යවහාරයක් එක්කර ඇත. එය එක්තරා ආකාරයකට සටන් කරන බලවේගයන් ජනතාවට හතුරු කිරීමේ ආණ්ඩුවේ උපක‍්‍රමයට ලබාදුන් කදිම ප‍්‍රතිඋපක‍්‍රමයකි. එමෙන්ම එය ප‍්‍රගතිශීලී උත්සාහයකි. එහෙත් ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිටීම සඳහා කෙතරම් දුරට තම බලවේගය සුදානම් කර ඇත්ද යන්න අනාගතය විසින් නිරවුල් කරන ප‍්‍රශ්නයකි.

මේ වන විට ආචාර්ය අරගලය තුළ ඉදිරිපත් කෙරෙන ප‍්‍රධාන සටන් පාඨ තුනකි. ඉන් පළමුවැන්න දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කරනු යන්නයි. දෙවැන්න රාජ්‍ය අධ්‍යාපනය සුරකිනු යන්නයි. තුන්වැන්න වැටුප් ප‍්‍රශ්නය විසදනු යන්නයි. මෙහි පළමු සටන් පාඨය ඉතා පුළුල් එකක් වන අතර අධ්‍යාපනයේ ප‍්‍රමාණාත්මක බිඳවැටීම් බොහොමයක පදනම ඇත්තේ ඒ තුළයි. එමෙන්ම ආචාර්ය සංගමය මෙලෙස පුළුල් සටන් පාඨ වලට පැමිණීම හරහා අධ්‍යාපන අරගලයට නව ජවයක් සමාජ අවධානයක් මහජන අනුමැතියක් ලබාගැනීමට හැකිව ඇත. අපට යම් දේශපාලන ගැටලූවක් පැනනගින්නේ මෙම දෙවන සටන් පාඨය සමගය. පසුගිය කාලය තුළම ආචාර්ය සංගමය විසින් වරක් ‘අධ්‍යාපනයේ සම අයිතිය ලබාදෙනු’, ‘නිදහස් අධ්‍යාපනය රැකගනිමු’ ලෙස වූ පුළුල් සටන් පාඨ ගෙන තිබෙන අයුරු අප දුටුවෙමු. එහෙත් එයින් නැවත පසුපසට යමින් ‘රාජ්‍ය අධ්‍යාපනය’ රැකගනිමු යන්නට පැමිණීම ගැටලූ සහගතය.

මේ සටන් පාඨ දේශපාලනිකවත් සමාජ විඥානය තුළත් ස්ථානගත වන ආකාරය පිළිබඳ අප අදහසක් ගත යුතුය. අධ්‍යාපනයේ සම අයිතිය යනු කුමක්ද යන්න අප මීට ඉහතින් සඳහන් කර ඇති පරිදි භේදයකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලූ ජනතාවට හිමිවන තත්ත්වයකි. යමෙක් කුලහීනයෙක් නිසා (ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය තුළ) අධ්‍යාපනය නොලැබේනම් එය සම අයිතිය අහිමවීමකි. අයෙක් කාන්තාවක් (ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තුළ) නිසා අධ්‍යාපනය නොලැබීනම් එය සම අයිතිය අහිමි වීමකි. ලංකාවේදී එය අහිමි වීමට යන්නේ, දැනටමත් යම් ප‍්‍රමාණයක් අහිමි වී ඇත්තේ ඇති නැති පරතරය හේතුවෙනි. දුප්පතුන්ට (පීඩිත පන්තියට) අධ්‍යාපනය අහිමි කිරීම අප ඉදිරිපිට ඇති අභියෝගයයි. පෞද්ගලික සරසවි ඇරඹූ විට මුදල් ඇති අයටත් මුදල් නැති අයටත් සැලකෙන්නේ ආකාර දෙකකිනි. ‘අධ්‍යාපනයේ සම අයිතිය ලබාදෙනු’ යන්න මේ සඳහා ගත හැකි වඩා පුළුල්තම සටන් පාඨයයි.

මීළඟට නිදහස් අධ්‍යාපනය යන්නේ අරුත කුමක්දැයි සලකමු. නිදහස් අධ්‍යාපනය යනු 1946 ගෙනආ අධ්‍යාපන පනත හැඳින්වු නාමයයි. එම පනත හරහා ලංකාවේ පීඩිතයන්ට අධ්‍යාපන ආයතන වලට ඇතුළත් වීමට ඉඩකඩ ලැබුණි. අධ්‍යාපනය වරප‍්‍රසාදයක් වී තිබුණු තත්ත්වය වෙනස් විය. පෞද්ගලික පාසල් සියල්ල 1960පාසල් ආඥා පනත හරහා රජයට පවරා ගැනුණි. එනිසා නිදහස් අධ්‍යාපනය පිළිබඳ කිසියම් ආකාරයක අවසන් විග‍්‍රයක් සිදුව නැතත් එය සමාජය තුළ ස්ථානගත වී ඇත්තේ රජය අධ්‍යාපනයට වගකිව යුතුය යන්නත් පෞද්ගලික අංශයට ඊට ඉඩ නොදිය යුතුය යන්නත් ලෙසය.

‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමුයැයි’ කී විට අදහස්වන්නේ කුමක්ද? එහි අරුත රාජ්‍ය විසින් පවත්වාගෙන යන අධ්‍යාපන ආයතන විනාශ නොකරනු යන්නයි. ඒවා ආරක්ෂා කරනු යන්නයි. මෙහිදී මතුවන ගැටලූව වන්නේ අධ්‍යාපනයට එල්ල වී ඇති සමස්ත අභියෝගය ආවරණය වීමට මෙම සටන් පාඨය අසමත් වීමයි. උදාහරණයකට අපට සටන් කිරීමට සිටින්නේ ඔලූ හතක් ඇති මකරෙකු සමග නම් මෙම ප‍්‍රවේශය ඉන් තෝරාගත් හිසක් සමග ගැටීමකට සමානය. එහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ අප ආරක්ෂා කිරීමට උත්සාහ කරන දෙය වෙනත් හිසකට ගොදුරු වීමයි. සමහර විට අප එක් හිසක් සමග සටන් කරන විට තවත් හිසක් අපව ගිලගනු ලැබීමයි.

අධ්‍යාපනය විනාශ කිරීම සඳහා වත්මන් පාලකයන්ට ඇති ප‍්‍රවේශයන් මොනවාද? රාජ්‍ය අධ්‍යාපනයට වෙන්කරන මුදල් කපා හැරීම, රාජ්‍ය අධ්‍යාපනය දුබල කිරීම, ඒ පිළිබඳ මහජන විශ්වාසය බිඳදැමීම, පෞද්ගලික අධ්‍යාපන ආයතන ඇරඹීම, ඒ සඳහා නීතිමය තත්ත්වයන් සකසාදීම, රාජ්‍ය අධ්‍යාපන ආයතන තුළ මුදල් උපයන පාඨමාල ඇරඹීම, එම පාඨමාලාවලින් ලැබෙන මුදලින් රාජ්‍ය අධ්‍යාපන ආයතන පවත්වාගෙනයාමට බලකිරීම නැතිනම් ඊට සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන්ට එම ආයතන පවත්වාගෙනයාමේ බර පැටවීම, රාජ්‍යය අධ්‍යාපනයේ වගකීමෙන් නිදහස් වීම හා ඊට එරෙහිවන සිසුන්, ආචාර්යවරුන් මර්දනය කිරීම යනාදියයි. නිවසකට සොරුන් පැනීමට නියමිතනම් එහි ඉදිරිපස දොරටුව පමණක් වසා තැබීම අඥාන කි‍්‍රයාවකි. අධ්‍යාපනය පිළිබඳ අර්බුදය තෝරාගත් දුර්වල සටන් පාඨයකට ලඝු කිරීම වැරැද්දකි. ඒ හරහා ඊට අනතුරු පැමිණිය හැකි අනෙක් දොරටු පිළිබඳ අවධානය ගිලිහේ.

තවත් ආකාරයකින් මෙම සටන් පාඨ දෙස බැලිය හැක. ‘‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිනු’’ මෙහි ප‍්‍රතිබද්ධ අදහස කුමක්ද? රාජ්‍ය විශ්වවිද්‍යාල රැකදීමට බලකිරීමයි.  පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කිසිවක් එමගින් සඳහන් වන්නේ නැත. යම් හෙයකින් නැවත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පැමිණියහොත් ස්ථාවරය කුමක්ද? රජය විශ්වවිද්‍යාල තුළ පාඨමාලා විකිණීම පිළිබඳ ස්ථාවරය කුමක්ද? ඒ ප‍්‍රශ්නය අද නොවුනත් හෙට නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනේ සිටින සියලූදෙනාට  හමුවනු ඇත. මේ පිළිබඳ සිතාබලන ලෙස අප ආචාර්ය සංගමයෙන්ද ඉල්ලා සිටිමු.

සටන් පාඨ තනුක කිරීම සටනට පහසුම මාවතයි. එහෙත් එය එක්තරා සීමාවකින් පිටට තනුක කළ විට නැවත එය මුලික සංයුක්ත සටන් පාඨය වෙත ගෙනආ නොහැකි ලෙසම දියාරු වී යනු ඇත. ‘‘අධිරාජ්‍ය විරෝධී සටන් පාඨය’’, ‘‘කොටි මරමු’’ ලෙස දුර්වල කිරීමෙන් සිදු කළ දේශපාලන වැරැද්දට අදත් ලංකීය සමාජය වන්දි ගෙවමින් සිටී.

මෙම අරගලයට එජාපය සම්බන්ධකර ගැනීමට ආචාර්ය සංගමය නිශ්චිතව හෝ අවිනිශ්චිතව ගෙන ඇති තීරණය බරපතල තත්ත්වයකි. අප ඉතා හොඳින් දන්නා පරිදි එජාපයේත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් දේශපාලනයේ ප‍්‍රතිපත්තිමය වෙනසක් නැත. මේ පක්ෂ දෙකම අධ්‍යාපනය පිළිබඳ දරන්නේ එකම ස්ථාවරයකි. නමුත් බලය අහිමි වු විට ඔවුන් බැටළු වෙස් ගන්නා බව දේශපාලන අත දරුවන් නොවන  ඕනෑම අයෙක් දනිති. එවිට ඔවුන්  ඕනෑම සටන් පාඨයකට එකඟය. එහෙත් ඒ පිටුපස ඇත්තේ ඔවුන්ගේ බල උවමනාවයි. ආචාර්ය සංගමය මෙතෙක් ආ ගමනේදී සියලූ දේශපාලන බලවේග සමග මනා අවබෝධයකින් යුතුව ගනුදෙනු කළ බව අප දකිමු. එහෙත් මීළඟ අදියරේදී (පාගමන සඳහා)  එජාපය සම්බන්ධ කර ගැනීමට නිශ්චිතව හෝ අවිනිශ්චිතව තීරණය කිරීම මවිතය දනවන සුළුය. ඒ පිළිබඳව වන අවධානම හැකි උපරිම අයුරකින් අවධාරණය කිරීමට අප උත්සාහ කළෙමු. එහෙත් ඔවුන් මුහුණ දී සිටින වෘත්තීය අරගලයේ කර්කශභාවය විසින් මෙවැනි තීරණයකට ඔවුන් තල්ලූ කළාදැයි අප නොදනිමු. එහෙත් මේ කි‍්‍රයාමාර්ගය අනාගතයේ දිනක ප‍්‍රශ්න කෙරෙන බවත් එය ගැටලූකාරී බවත් එය නිවැරදි නොවන බවත් අප ඉතා පැහැදිලිව අවධාරණය කරමු. ආචාර්ය අරගලයට අපගේ දේශපාලන ස්ථාවරයන් පරදු නොතබමින් දිය හැකි උපරිම සහාය හිමිවන බව තවද අවධාරණය කරමු.

අධ්‍යාපනයේ අර්බුදයට පදනම් වන පාලකයන්ගේ ප‍්‍රධාන වුවමනාවන් 4 ක් අප දකිමු.

01. අධ්‍යාපනයේ වගකීමෙන් රජය නිදහස් වීම
02. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීම
03. අධ්‍යාපනය අයිතියක සිට වරප‍්‍රසාදයක් දක්වා පහත හෙලීම
04. අධ්‍යාපනයෙන් සිසුන් ආචාර්යවරුන් ගුරුවරුන් පිටමං කිරීම (අධ්‍යාපනය අහිමි කිරීම හා අධ්‍යාපනයේ වුවමනාව වෙළඳපළට අනුව සැකසීම. අධ්‍යාපනය මනුෂ්‍ය වුවමනාවන්ගෙන් ඈත් කිරීම)

අධ්‍යාපනය සඳහා දෙන මුදල් කපා හරින්නේ, පාසල් සංවර්ධන මණ්ඩල අරඹන්නේ, විශ්වවිද්‍යාල තුළ පාඨමාලා විකිණීමට යෝජනා කරන්නේ, පාසල් තුළ මුදල් අයකිරීම් වැඩිවන්නේ ඉහත පළමු වුවමනාව නිසාය. පෞද්ගලික සරසවි හරහා සිදුවන්නේ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කිරීමත් එය ලාභ ලැබෙන තත්ත්වයට පත්කිරීමට එයට මැදිහත්වන ප‍්‍රජාව තුළ එම ලාභ වුවමනාවේ පදනමින් ඒ දෙස බැලීමට හුරුකිරීමත්ය.

මේ කරුණු දෙක සිදුවන විට අධ්‍යාපනය අයිතියක සිට වරප‍්‍රසාදයක් බවට පත්වීම වැලැක්විය නොහැක. දනටමත් රටේ දරිද්‍රතාවය වැඩි පවුල්වල දරුවන් ඉංජිනේරු හා වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීමේ ප‍්‍රමාණය අඩුවෙමින් ඇත. රටේ පාසල් යායුතු වයසේ දරුවන්ගෙන් 15% ක් පාසල් නොයයි.

මෙහි සිව්වන කරුණ මීට පෙර එතරම් සාකච්ඡාවට ලක් නොවුවකි. අධ්‍යාපනය තුළින් සිසුන්, ආචාර්වරුන්, ගුරුවරුන් පිටංම කර ඇති බව අපගේ දෛනික නිරීක්ෂණයන් පෙන්වා දෙයි. දරුවන් අධ්‍යාපනය ලබන්නේ අකමැත්තෙනි. ඔවුන්ට අධ්‍යාපනය පීඩාවකි. සමහරුන් දැනුමට වෛර කරති. උගන්වන බොහෝ දේ ඔවුන්ට අදාළ නොවේ. නැතිනම් අදාළ වන අයුරින් උගන්වන්නේ නැත. ඔවුන්ට අදාළ වන්නේ සහතික පතකි. සහතික පත් අවශ්‍ය වන්නේ රැකියා සඳහායි. ගුරුවරුන්ට, ආචාර්යවරුන්ට අධ්‍යයනය සඳහා ප‍්‍රමාණවත් කාලයක් නැත. ඔවුන්ට ඇති අඩු වැටුප නිසා ඔවුන් වෙනත් අදායම් සෙවීමේ මාවත වෙත පිවිස ඇත. අධ්‍යාපනය නිසා දරුවන්ට සිය ජීවිතය අහිමි කර ඇත. දරුවන්ට සිය ළමා ලෝකය, කී‍්‍රඩා කිරීම, විනෝද වීම, මිතුරන් ඇසුරු කිරීම යන සියල්ල අවහිර කර ඇත. සරසවි තුළ කී‍්‍රඩාවට, කලාවට, දේශපාලනයට හා පේ‍්‍රම කිරීමට පවා ඇති වේලාව අහිමි කර ඇත. අධ්‍යාපයේ හෝ දැනුමේ කේන්ද්‍රස්ථානය වනවා වෙනුවට ඒවා කලකිරීමේ හා ඉච්චාභංගත්වයේ කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇත.  ගිරා පෝතකයන් සේ පාඩම් කරන, දිනපතා විභාග ලියන යාන්ති‍්‍රක, පීඩාකාරී, අමිහිරි ජීවිතයක් ගත කරන සහතික පත‍්‍ර එකතු කරගන්නන්ගේ පාරාදීසයක් බවට අධ්‍යාපන ආයතන අද පත්ව ඇත. සැබවින්ම අද අධ්‍යාපන ආයතන තුළ අහිමි කරමින් ඇත්තේ අධ්‍යාපනයයි.

මේවාට වගකිව යුත්තේ පාලකයන්ය. ඔවුන්ට අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ලාභය සෙවීම සඳහාය. සරසවි ආචාර්යවරුන් අවශ්‍ය වන්නේ මැතිවරණ වේදිකාවලට ගැනීමට හා පුවත්පත් දැන්වීම්වලට අත්සන් ගැනීමටය. ඊට වඩා පුළුල් දැක්මක් පාලකයන්ට නැත. අධ්‍යාපනයේ සැබෑ විමුක්තිය හා ඊට සම්බන්ධ ප‍්‍රජාවන්ගේ සැබෑ විමුක්තිය ලැබෙන්නේ වඩා පුළුල් පදනමකින් නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලය සමාජගත කළහොත් පමණි. ඒ සඳහා අවශ්‍ය කථිකාවට අපි සූදානම්ය. ආචාර්ය අරගලයට අපගේ දේශපාලන ස්ථාවරයන් පරදු නොතබමින් දිය හැකි උපරිම සහාය හිමිවන බව තවද අවධාරණය කරමු.

කැදවුම්කරු
සංජීව බණ්ඩාර
අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
2012-09-19