Z අගය සම්බන්ධයෙන් පෙත්සම් 5 ක් විභාගයට අවසර
2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධ පෙත්සම් 5ක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) අවසර ලබාදී තිබේ. පසුගිය උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් තමන්ට අසාධාරණයක් වූ බවට සිසුන් ඉදිරිපත් කළ පෙත්සම් 4 ක් හා මුල්වර නිකුත් කළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල සඳහා ඇතුළුවීමට අවස්ථාව හිමි වු තමන්ට ඉසෙඩ් අගය දෙවන වරට නිකුත්වීමෙන් එය අහිමි වූ බව පවසමින් ඉදිරිපත් වු පෙත්සමක් විභාගයට ගැනීමට මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණි අමරතුංග සහ කේ. ශ්‍රිපවන් යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් සලකා බැලිනි. ඉසෙඩ් අගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක නොවුනු බවට ගොනු කළ පෙත්සම් 4 සිසුන් 350 කට අධික පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු නොකිරීමෙන් තමන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ අවස්ථාව අහිමි වූ බව පෙත්සම් කරුවන් පෙන්වා දෙති.
මුල්වර නිකුත් කළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල සඳහා ඇතුළුවීමට අවස්ථාව හිමි වු තමන්ට ඉසෙඩ් අගය දෙවන වරට නිකුත්වීමෙන් එය අහිමි වූ බව පවසමින් ඉදිරිපත් වු පෙත්සම සිසුන් 23 දෙනෙකු විසින් ගොනුකර තිබිණි.
මෙහිදී මුල්වරට නිකුත් කළ ඉසෙඩ් අගය පිළිගත නොහැකි බව අධිකරණය ප්‍රකාශයට පත්කර ඇති බව අගවිනිසුරුවරිය කියා සිටියේය. එහෙත් දුක් ගැනවිල්ලක් සේ සලකා ඔවුන්ගේ පෙත්සම විභාග කෙරෙන බව ද අගවිනිසුරුවරිය ප්‍රකාශ කළාය.
ඒ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම් පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තුරු විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර නොගන්නා බවයි.