කෞමිනි - තිලිණි සරසවි සොයුරියන් වහා නිදහස් කරනු - සරසවි දියණියෝ...

අභූත චෝදනා එල්ල කරමින් පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රුහුණ සරසවියේ කව්මිණි හා තිළිණි යන විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනා නිදහස් කරන ලෙස බලකරමින් සරසවි දියණියෝ සංවිධානය විසින් ඊයේ (19) පස්වරුවේ මරදාන CSR ශාලාවේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් සම්බන්ධ විය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හසිනි හංසිකා සොයුරිය:

අපි සරසවි දියණියෝ සංවිධානය විදියට මේ මොහොතේ මාධ්‍ය සාකච්ඡාව ගනු ලබන්නේ මේ වනවිට අභූත චෝදනා මත මාතර බන්ධනාගාරයේ සිරගත කොට ඇති කවිමිණී හා තිළිණි සහෝදරියන් පිළිබඳව දැනුවත් කිරීමට හා ඊට එරෙහිව විරෝධය ප‍්‍රකාශ කිරීමට සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පැහැදිලි කිරීමටයි. ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට, නිදහස් අධ්‍යාපනය විකුණා දැමීමට ආණ්ඩුව දරනු ලබන උත්සාහයේ තවත් එක් පියවරක් විදියටයි අපි මේක දකින්නේ. ආණ්ඩුව පසුගිය කාලයේ පුරාවටම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූ සිසු සිසුවියන් මර්දනය කළා. අභූත චෝදනා එල්ල කරමින් ශිෂ්‍ය නායකයන්ගේ, නායිකාවන්ගේ පංති තහනම් කළා. සිරගත කළා. මේ විදියට ආණ්ඩුව විසින් ගෙන යනු ලබන මර්දනයේ සුවිශේෂී අවස්ථාවක් විදියට තමයි රුහුණ සරසවියෙ දෙවන වසර ඉගෙනුම ලබන මෙම කව්මිණී හා තිළිණි සහෝදරියන් දෙදෙනා අභූත චෝදනා වලට සිරිගත කිරීම අපි දකින්නේ.
ඒ වගේම මෙ මොහොත වනවිට අපේ රටේ ළමා හා ස්තී‍්‍ර අපයෝජන ඉතා සීග‍්‍රයෙන් වැඩිවෙමින් තියෙනවා. වර්තමානයේ දී දිනකට ස්ත‍්‍රී දූෂණ 5 ක් පමණ සිද්ධ වෙනවා. අද මංකොල්ලකාරයො, අපරාධකාරයො, දූෂකයෝ නිදැල්ලෙ සිටිද්දී, අපරාද රිසිසේ කරගෙන යද්දී අහිංසක සරසවි සිසුවියන් දෙදෙනෙක් සිරබත් කනවා. නොකළ වරදකට. මෙන්න මේකට විරුද්ධව තමයි අපි සරසවි සිසුවියන් විදියට මේ මාධ්‍ය සාකච්ඡාව ගන්නේ. මොකද අද දවසේ සරසවි ශිෂ්‍යාවට වගේම සමස්තයක් වශයෙන් රටේ කාන්තාවට මගතොටෙහි, වැඩපළෙහි එහෙම නැත්නම් පාසලේ දී සිද්ධවෙන මේ අතවරයන්ට විරුද්ධව නැගී සිටීම අද දවසේ අපේ යුතුකම කාර්යභාරය වෙලා තියෙනවා.
ඒ වගේම මේ මොහොතේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ අදහසින් අභූත චෝදනා මත සිරගත කොට ඇති සරසවි සොයුරියන් දෙදෙනාම නිදහස් කර ගැනීම උදෙසා වූ සියලූම කි‍්‍රයාමාර්ග අපි ‘‘සරසවි දියණියෝ’’සංවිධානය විදියට ගනු ලබමින් පවතිනවා. ඒ වගේම තවදුරටත් සරසවි ශිෂ්‍යාවන්ට සිදුවන අසාධාරණයන්ට විරුද්ධව හා සමස්ත ස්ත‍්‍රී ප‍්‍රජාවටම සිදුවන තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට සරසවි දියණියෝ සංවිධානය කැප වී සිටින බව ඇය වැඩි දුරටත් පවසා සිටියාය.

No comments:

Post a Comment