සුසන්ත බණ්ඩාර අපට අහිමිකර වසර දෙකයි. සත්‍ය ජයගනී බස්සා නිදහස්...

මේ අප සූදානම් වන්නේ 2010-06-18 හරියටම මින් වසර දෙකක් එපිටට ඔබේ මතකය රැගෙන යමටයි. රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් එදා නේවාසිකාගාර දිනා ගැනීමේ අරගලයක  නිරත වී සිටියෝය.
වැල්ලමඩම රුහුණ විශවවිද්‍යාලයේ පරිපාලන පරිශ‍්‍රය, විද්‍යා පීඨය, මානාව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යාපීඨය, කළමණාකරණ හා මූල්‍ය පීඨය, සාගර ධීවර හා මතස්‍යජීව සහ තාක්ෂණ පීඨය යන පීඨයන් හි සිසුන් මෙම පරිශ‍්‍රයේ අධ්‍යාපනය ලබති.
මෙහි සිසුන්ගේ නේවාසිකාගාර තිබෙන්නේ විශ්වවිද්‍යාල භූමියෙන් පිටතය. මේ නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වගේම විශය බාහිර කටයුතු වලදී ද මෙය ගැටළුවක් ලෙස කාලයක් පුරා පැවතිණි.
අනෙක් අතට මෙමගින් විශ්වවිද්‍යාලය තුළට කෙරෙන ආණ්ඩුවේ දේශපාලන මැදිහත්වීම් හා බාහිර මැරයන් යොදවා සිසුන්ට කරනු ලබන පහරදීම් හරහා සිසු අධ්‍යයන සුභසාධන සටන් අඩපණ කිරීමටත් පිටුබලයක් ලැබුණි.
1996 දී එවකට ආණ්ඩුවේ සිටි මහින්ද විජේසේකකර මැර පිරිසක් සමග විශ්වවිද්‍යාලයට පැමිණ එහි තිබූ විරු සිසු ස්මාර්කය කඩා බිඳ සිසුන්ට පහර දුන් තැන පටන් සිසුන්ට වාර්ශික ගුටි පූජාවකට මුහුණදෙන්නට සිදු විය.
මේ නිසාම ශිෂ්‍යන් විසින් දිගින් දිගටම විශ්වවිද්‍යාල පරිපාලනයෙන් කරන ලද ඉල්ලීම් අතර විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන් නේවාසික පහසුකම් සපයන ලෙස කරන ලද ඉල්ලීම ද විය.
2010-06-18 ශිෂ්‍ය අරගලය දියත් වූයේ මෙකී අභ්‍යන්තර නේවාසිකාගාර දිනා ගැනීම වෙනුවෙනි. නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය ඊට එකඟ වූයේ නැත. ඊට දින කීපයකට ඉහතදී ද භාහිර මැර කණ්ඩායමක් පැමිණ ශිෂ්‍යයෙකුට පිහියෙන් ඇණ ගොස් තිබුණි. මේ නිසා එදින සිසුන් පිටත නේවාසිකාගාර වලින් ඉවත්ව සරසවියට පැමිණියේ ආරක්ෂාව ලාබා දෙන ලෙස පරිපාලනයට බලපෑම් කරමිනි. 
නමුත් පරිපාලනයේ උත්තරය වූයේ සරසවිය වසා දමීමය. මේ නිසා එදින සවස නැවත සිසුන් නේවාසිකාගාර වෙත ගියේ පසුදා නිවෙස් බලා පිටත්වීමේ බලාපොරොත්තවෙනි.
නමුත් හදිසියේම මැදදවත්ත නේවාසිකාගාරය වැටලූ මාතර පොලිසිය එහි සිටි සිසුන්ට එලව එලවා පහර දෙන්නට විය. මෙහිදී පහර කෑමට ලක්වූවන් අතර සුසන්ත බණ්ඩාර ද විය.
කෙසේ නමුත් පසුදා සුසන්තද නිවෙස බලා පිටත් විය. පසුව ඔහු රෝහල් ගත කෙරිනි. ඔහු රෝහල් ගතව සිටියදී විශ්වවිද්‍යාලයේ ඔහු හා එක කාමරයේ වාසයකළ බස්නායක ඔහු බැලීමට රෝහලට ගියේ සහෝදරකමටය. කෙසේ නමුත් 2010-07-23 දින සුසන්ත සදහටම දෙනෙත් පියා ගත්තේය.
සිසුන් විසින් දිගින් දිගටම මෙය සිසු ඝාතනයක් ලෙස කෙතරම් හෙලිදරව් කිරීම් සහිතව කරුණු ඉදිරිපත් කළත් ආණ්ඩුව එය භාර ගත්තේ නැත. ඒ වත්මන් ආණ්ඩුවේ හැටිය. ඔවුන් දිගින් දිගටම කීවේ මෙය බස්සෙක් විසින් කරන ලද පහරදීමක් නිසා සිදු වූවක් බවය.
මෙහි විහිළු සහගතම සිදුවීම වන්නේ එකල පොලිස්පති මේ සම්බන්දයෙන් මාධ්‍ය ඉදිරියේ කළ ප‍්‍රකාශයි. ඝාතනය සිදු වූ දින මෙය ස්වභාවික මරණයක් ලෙස කරුණු දැක්වූ එතුමා එම කටින්ම පසු දින මෙම සිසුවෙක් විසින් කරන ලද පහරදීමක් නිසා සිදු වූවක් බවට ප‍්‍රකාශ කරන්නට යෙදනි.

මේ අතර උසස් අධ්‍යාපන ඇමතිවරයා මෙය තමන් සිඇසින් දුටු සිදුවීමක් මෙන් රඟපාමින් මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ ඉදිරිපත් කරන්නට විය.
උසස් අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව මෙහිදී උත්සහා කළේ තමන් මෙහි වගකීමෙන් ගැලීවී නිදහස් වනවා සේම ඒ සඳහා තවත් අසරණ සිසුවෙකු බිලිදී ශිෂ්‍ය ව්‍යාපාරයට මෙහි වරද පැටවීමටය.
මෙය ආණ්ඩුවේ කුප‍්‍රකට භාවිතාවකි පසුව කටුනායක රොෂේන් චානක ඝාතනයේදීත්, හලාවත ඇන්ටනී නම් ධීවරයාගේ ඝාතනයේ දීත් මෙකී කාලකණ්ණි භාවිතාව නිරුවත් විය.
ඉන් පසු මෙය අධිකරණයේ නඩුවක් බවට පත් විය. පසුගිය 21 දින මෙහි නඩු තීන්දුව ලබා දුනි. බස්නායක සිසුවා මෙකී සිදුවීමට අදාල සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කෙරුණි. 
සත්‍ය ජය ගන්නා ලදී. නමුත් සුසන්තට යුක්තිය ඉටු වුනාද නැද්ද යන්න ගැන තවමත් සමාජයට බරපතල ප‍්‍රශ්ණයක් ඇත. සුසන්තලාට රොෂේන්ලට ඇන්ටනී ලා ඇතුලූ තම අයිතීන් වෙනුවෙන් සටන් වැදුන මිනිසුන්ට මෙම ක‍්‍රමය යටතේ යුක්තියක් ඉටු වේ යැයි. අප නොසිතමු නමුත්  මෙවැනි සිදුවීම් හරහා ධනේෂ්වර යුක්තියේ නිරුවතනම් කදිමට විග‍්‍රහ කර ගත හැකි වනු ඇතයි අප සිතමු.