කඳුලූ පිරි දෙනෙතින්,ධෛර්ය සම්පන්න හදවතින්..


රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ලෙස මෙලෙස ඔබ ආමන්ත‍්‍රණය කරන්නට සිදුවුයේ රුහුණ විශ්වවිද්‍යාල ප‍්‍රජාව ලෙස අප සියලූ දෙනාට මුහුණ දීමට ඇති ගැටළු පිළිබඳ සංවාදයක් ගොඩනැගීම උදෙසාය.
සරසවි ශිෂ්‍ය ප‍්‍රජාව ලෙස රුහුණ සරසවියේ අනාගතය දෙස දකින විට නෙත් කඳුලින් තෙත් වෙයි.අද අපේ විශ්වවිද්‍යාලයට සිදුකරමින් යන්නේ කුමක්ද?මෙය සරසවියක් නොව පාසලක් දක්වා දක්කන්නට සුදානම් බව පෙනී යයි.
සරසවි සිසුන් ලෙස අප විශ්වවිද්‍යාලයට පැමිණියේ කුමක් සඳහා ද?ඒ ඉගෙන ගැනීම සඳහාය.ඒ සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැගීමට පාලකයන් සමත්විය යුතු නොවේද? අද වන විට එය එසේ සිදුවනවාද?
මේ වන විට නවක සිසුන් සරසවියට පැමිණ ඇත.ඔවුන්ට නායකත්ව පුහුණුව නම් වු හමුදා පුහුණුවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කළේ එම සිසුන්ගේ යහපත උදෙසාද?නැත.ආණ්ඩුවට අවශ්‍ය කරුණක් තිබුණි.ඒ සරසවි උපසංස්කෘතිය හරහා රටට නිර්මාණය කරන නායකයින් ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය ප‍්‍රශ්න කරන බැවින් එම උපසංස්කෘතියට පහර එල්ල කිරීමය.එපමණක් නොව අර්බුද නොමැති අවස්ථාවල නවක සිසුන් දඩමීමා කරගෙන ශිෂ්‍ය නායකයින් මෙන්ම සරසවි සිසුන් දඩයම් කර කටවැසීමට හා ආණ්ඩු ගැති ඔත්තුකාර සරසවි සිසුන් කිහිප දෙනෙකු නිර්මාණය කර ගැනීමටයි. ඉන් පසු ඔවුන් යොදාගෙන සරසවි ප‍්‍රජාව මර්දනය කර දණ ගැස්සවීමටය.  
නවකයන් මුලා කිරීමට ආණ්ඩුව ‘‘ලැප්ටොප් පරිගණක’’ නම් කඩවුනු පොරොන්දුව දුන්නේය. කෙටිකාලීන කරුණාවකින් නවකයන්ගේ සිත් ඇද ගැනීමට කළ මෙය කූට උපක‍්‍රමකි.දැන් ඔවුන් සරසවියට පැමිණ අධ්‍යාපන කටයුතු හදාරයි.මහපොළ ශිෂ්‍යධාර තවමත් ලබා දී නොමැත.තවත්  අධ්‍යයන සුභසාධන ගැටළු එමට ඇත හැඳිගෑරුප්පු වලින් කෑමට උගන්වා ඇති ඔවුන්ට හැඳිගෑරුප්පු තියා කැන්ටිමේ පොල්සම්බෝලය හා බත් කෑමටවත් ඉඩකඩ සහිත ආපනශාලාවක් නැත.ධීවර සහ සාගර හා තාක්ෂණ විද්‍යාපීඨයේ පහසුකම් ප‍්‍රමාණවත් නොවීම නිසා පීඨයේ අනෙක් සිසුන්ට දීර්ඝ නිවාඩුවක් ලබා දී ඇත.මහපොළාවේ යථාර්ථය මෙයයි.
මේ අතර සරසවිය තුළ අද අමුතුම සිදුවීම්ද සිදුවෙමින් පවතී. පසුගිය දිනක උදෑසන සරසවියට පැමිණි නවක සිසුවෙක් ආපනශාලාව ඉදිරිපිටට විත් ආචාර්යවරුන් හා සිසුන් මෙන්ම ආරක්ෂක අංශ බලා සිටියදීම කළහකාරී ලෙස එහි සිටි ජේ්‍යෂ්ඨ සිසුන්ට තර්ජනය කළේය.අද සරසවිය තුළට එවැනි චන්ඩින් ද රිංගා ඇත.පරිපාලනය මේවාට නිහඩය.එදිනම ආපනශාලාව තුළ නවක වදය දෙනවා යැයි උපකුලපතිතුමාට ලැබුණ පණිවුඩයකට අනූව එකවරම ආපනශාලාවට සරසවි ආරක්ෂක අංශ කඩා පැන්නේය.ඒ මොහොත වන විට එහි සිටි ආචාර්යවරුන් හා සිසුන් මෙහිදී මහත් අපසුතාවට පත් වූ අතර මේ පිළිබඳ අචාර්යවරු සිය විමතිය පලකළේය.එදින රාත‍්‍රියේ මැද්දවත්ත නේටාසිකාගාරයට ’’රක්නා ලංකා’’ආරක්ෂක අංශය කඩා පැන්නේ උපකුලපතිතුමාද නොදැනුවත්ය.සිදුවීම් මෙසේ පෙළගැසුනේ සංවිධානාත්මකවය.ඉන් පසු දින බළලා මල්ලෙන් එලියට පැන්නේය ඒ ආණ්ඩුවේ දිනමිණ පුවත්පත හරහාය.ආණ්ඩුවේ මාධ්‍යට නිවේදනයක් නිකුත් කරතිබූ ඊනියා නිදහස් ශිෂ්‍ය සංවිධානය යැයි කියා ගන්නා ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ සංවිධානය (පසුගිය මාසයේ ඌව විශ්වවිද්‍යාලය තුළට එකතු කර පුහුණු කලේ මොවුන්ය.)විසින්  රුහුණ සරසවියේ දස වද දෙන නවක වදයක් ඇතැයි බෙර ගැසුවේය.ඉන් පසු දින සිසුන හය දෙනෙකුගේ පන්ති තහනම් කෙරිනි,කුමන්ත‍්‍රණයේ සාර්ථක එක් අදියරක් මෙසේ නිමා විය.මේ ආරම්භය පමණි.මෙම කි‍්‍රයාවලිය තේරුම් ගැනීමට අමුතු දැනුමක් අවශ්‍ය නොවේ. සිසුන් දඩයම් කිරීමට ආණ්ඩුව දැන් පටන්ගෙන ඇත.
නවකයන්ට මෙතරම් අනුකම්පාව දක්වන පාලකයෝ අනෙක් වසරවල සිසුන් දෙස වෛරයෙන් බලන්නේ මන්ද? උගතුන් බුද්ධිමතුන් බිහිවන සරසවිවල ප‍්‍රජාව ආණ්ඩුවට ගැටළුවකි. සරසවි ප‍්‍රජාව නිවටයන් ලෙස නොසිටිම ආණ්ඩුවට ගැටළුවකි.ආණ්ඩුවේ  ඕනෑම තීරණයක් ඉදිරියේ සරසවි ප‍්‍රජාව ප‍්‍ර‍්‍ර‍්‍රශ්ණ කිරීම ගැටළුවකි. මෙම ගැටළුවට පිලියම් සෙවිමට ආණ්ඩුව නවක සිසුන්ට පමණක් කරුණාව පෙන්විමට පටන්ගෙන තිබේ.සරසවි ප‍්‍රජාව මර්දනය කිරීමට ඔත්තුකරුවන් කුළී හේවායන් සරසවි තුලට රිංග වීමට අවශ්‍ය විය.‘‘රක්නා ලංකා’’කරන්නේ ආණ්ඩුවේ එම  න්‍යාය පත‍්‍රයට අයත් කාර්ය නොවේද?ඔවුන්ගේ කාර්යය සරසවි ප‍්‍රජාව ආරක්ෂා කිරීමවත් සරසවි දේපළ ආරක්ෂා කිරීමවත් නොවන බව දැන් පැහැදිලිය. නේවාසිකාගාරවලට හිටිහැටියේ කඩා වදින්නට ‘‘රක්නා ලංකා’’සමාගමට බලතල ලැබුණේ කෙසේද? හෙට දින දේශන ශාලාවට,පුස්තකාලයට,ආපනශාලාවට පමණක් නොවේ වැසිකිළියට ද ඔවුන් නොපැමිණේ යැයි කිව හැක්කේ කාටද?
ආණ්ඩුවේ න්‍යායපත‍්‍රය දැන් ඉතා පැහැදිලිය. මර්දනය බිම් මට්ටමින් පටන්ගෙන ඇත. මෙය කොතෙකින් කෙළවර වේ දැයි කීමට දන්නේ ආණ්ඩුවම පමණි.එම ගමන් මාර්ගය දෙස බලන විට මේ රටේ සුවහසක් මිනිසුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති පාරිශුද්ධ අයිතිය මේ හරහා විකිනෙනු ඇත. අප සරසවිය මුදලට සියලූම උපාධි විකුණන උපාධි කඩයක් කරනු ඇත. ඒ බව සිතන විට දෙනෙතට කඳුලූ පිරේ.
අපේ සහෝදරයන් සහෝදරියන් බොරු චෝදනා කොට ගෙදර යවන්නට පාලකයන් සූදානම්ය. ඉගෙනගැනීමට ඇති අයිතිය විකුණන්නට සූදානම්ය.අපට ඉතිරිව ඇත්තේ එක් දෙයක් පමණි.සහෝදරත්වයේ එකමුතුකමේ දෑත් බැඳගැනීම පමණි. සතුරා නිවසේ දොරට තට්ටු කර ඇත. ගෙදර ප‍්‍රශ්න පැත්තකින් තබා සතුරාට මුහුණදීමට සූදානම් විය යුතු නොවේද? 
අහිසංක සිසුන් වෙනුවෙන් දෙනෙතේ කඳුලක් ඇත.එපමණක් නොව ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නට ධෛර්ය සම්පන්න හදවතක් ඔබට ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

1 comment: