නේවාසිකාගරයේ සිවිලිම සිසුන්ගේ ඔලූවට...

රුහුණ විශ්වවිද්‍යාලයීය එළියකන්ද පිරිමි නේවාසිකාගාරයේ සිවිලිමේ කොටසක් සිසුවකුගේ හිස මතට කඩා වැටීම නිසා රෝහල් ගත කරන්නට සිදුව ඇත.
විද්‍යා පීඨයේ සිසුන් නේවාසිකව සිටින මෙම නේවාසිකාගාරයේ ප‍්‍රමිතිය පිළිබඳව මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම පරිපාලනය සමග කළ සාකච්ඡා වලදී මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරන ලද බව සිසුන් විසින් පවසන ලදි.
මෙම තත්වය පිළිබඳ අදහස් දක්වා සිටි සිසුන් පවසා ඇත්තේ පරිපාලනයට මෙම නේවාසිකාගාරයේ ඇති අවධානම් තත්ත්වය පිළිබඳව දන්වා සිටිය ද කොන්ත‍්‍රාත්කරුවකු ගැන සඳහන් කරමින් පාලකයන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි.
මෑතක දී ඉදිකරන ලද මෙම නේවාසිකාගාරයේ වැසිකිළි පද්ධතියද ප‍්‍රමිතියකින් තොර බව සිසුන් පවසා සිටී.මේ වන විට වැසිකිලි වලින් කිහිපයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.
සිසුවන්ගෙ ජීවිතවලට බලපාන මෙවැනි තත්වයක් තුළ ඉතා ඉක්මනින්ම නේවාසිකාගාරය අලූත්වැඩියා කළ යුතු බව පවසා සිටින සිසුන් මහජන මුදල් වලින් ප‍්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදිකරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ යුතු බවද පවසයි.