රාජ්‍ය විශ්වවිද්‍යාල රැක ගැනිම වෙනුවෙන් පෙළගැසෙමු.

කැම්පස් එක පටන්ගන්නේ කවදාද?
මේ, ඔබ අප සියල්ලන්ටම අද ඇති ප‍්‍රශ්නයයි. ඔබ නිවෙසටවීත් අප සරසවියටවීත් අප අපෙන්ම අහගන්නා ප‍්‍රශ්නය මෙයයි. මේ ගෙවෙමින් පවතින්නේ ඔබගේ ජීවිතයේ වටිනාම කාලයයි. වසර 13 කට අධික කාලයක් පාසල් අධ්‍යාපනය ලැබ නොවිඳිනා දුක් විඳ ලැබූ, උපාධියක් හැදැරීමේ උසස් අධ්‍යාපන අවස්ථාව, ඒ හා එක පෙළට පොදිබැඳි ඔබගේ හා ආදරණීය දෙමාපියන්ගේ බලාපොරොත්තු හා ප‍්‍රාර්ථනවන් නොවේ ද මේ කාලයේ වැලිතල අතර සැගවී යාමට යත්න දරන්නේ ? තව කොච්චර කාලයක් මෙහෙම බලාගෙන ඉන්න ද?
ප‍්‍රශ්නයට උත්තර දෙකක් ඇත.
01. පොදුවේ පසුගාමි ලාංකීය සමාජයේ බහුතරයක් කල්පනා කරන පරිදි ඔහෙ ඕන දවසක පටන්ගත්තා වේ. ඒ වෙනකන් අපි අපේ වැඩක් බලාගෙන ඉමු. ඉංගි‍්‍රසි ටිකක් හදාගමු. Chartered ගොඩදාගමු. අඩුම තරමේ CAB II වත් , කැම්පස් ඉතින් කවදා පටන් ගත්තාම මොකද? (මේ සමහරක් කල්පනා කරන විදිහයි.)
02. මෙහෙම ඉදලා හරියන්නෙ නෑ. මේ ගතවෙන්නේ අපේ ජිවිතේ, මේ ගතවන කාලය ආපහු ගන්න බෑ, ඒක හින්දා අඩපනවෙලා තියෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය වහා යථාතත්ත්වයට පත් කර ගන්න මොකක් හරි කරන්න ඕන.
රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස අපගේ මෙම දැනුවත් කිරීම අදාල වන්නේ දෙවන ප‍්‍රතිචාරය වඩාත් සුදුසු යැයි විශ්වාස කරන සහෝදර සහෝදරියන්ට පමණි. පළමු ප‍්‍රතිචාරය පිළිතුර ලෙස දකින අයට අපට කීමට ඇත්තේ, සොයුරනි, සොයුරියනි ඔබට සිහින දැකීමට නිදහස ඇත. අපි ඔබගේ සිහින දැකිමේ අයිතියට බාධා නොකරමු.
ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නය....
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම සාධාරණ ඉල්ලීම් සඳහා වහා විසදුම් ලබාදෙන ලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණව දැනට මාසයකට වඩා වැඩි කාලයක් ගතව ඇත.
ආණ්ඩුව මොනවද කළේ ?
උසස් අධ්‍යාපනය බාර සුදුබණ්ඩා දිසානායක ඇමැතිතුමාගේ පොර ඔ්කනි ඇරෙන්නට, අඩුම තරමේ මෙම ගැටලූවට විසදුමක් ලබා දෙන්නට අවංක චේතනාවකින් මැදිහත්ව මේ පිළිබඳව සාකාච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා නොදීමට තරම් වර්ථමාන ආණ්ඩුවේ මහන්තත්තකම ලොකු විය. ඒ වෙනුවට ආණ්ඩුවට හා ඊට කඬේ යන මාධ්‍ය මාෆියාව දිගින් දිගටම කළේ ආචාර්යවරුන් හෑල්ලූවට ලක්කිරීම හා සමස්ථ සරසවි පද්ධතියටම නිග‍්‍රහ කිරීම පමණි. ඒ පිළිබඳව අපි විශ්මයට පත් නොවෙමු. මන්ද මොඩයා සතු එකම අවිය අපහාසය හා උපහාසය පමණක් බව බොහො කළකට පෙර අප අසා ඇති කියමනක් නිසාය. අද දවසේ ආණ්ඩුවේ බලධාරීන් ඔප්පු කරන්නේ එහි සත්‍යතාවය මිස අන් කිසිවක් නොවේ.
එදා අපිට ..... අද ගුරුවරුන්ට..
අධ්‍යාපන ඇමැතිතුමා පේරාදෙණයේ ඩෙගා නැටීමට ගොස් සිසුනගෙන් හූ සංග‍්‍රහයක් ලැබීමෙන් පසු මඳ කිපුනු අලියෙකු සේ සිසුන්ට එළව එලවා පහර දුනි. ජ’පුර සරසවියේ උපකුලපතිතුමා සමග සිසුවියන්ගෙ කන්‍යාභාවය පරික්‍ෂා කිරීම, තොරණ ගිනි තැබුවා යැයි සිසුවියන්ගේ පන්ති තහනම් කිරිම, උපකුලපතිතුමාට පහරදුන්නා යෑයි අපවත්වූ ස්වාමීන් වහන්සේ නමකගේ පන්ති තහනම් කිරීම, අපේ සරසවි බිමට නිල් බලකායේ මැරයන් ඇවිත් සිසුන්ට පහරදීම, සුසන්ත බණ්ඩාර සහෝදරයා ඝාතනය වීම ඇතුලූ අනේකවිද පීඩාවන්ට සිසුන් ලෙස පසුගිය කාලයේ අපට මුහුණ දෙන්නට සිදුවිය. මේ සියලූ පීඩාවන් තුළ ද වත්මන් ආණුඩුව සිසුන්ට නිග‍්‍රහ කිරිම හා අවලාද කිරීම ඇරෙන්න අන් කිසිවක් කළේ නැත. අද ආණ්ඩුව ආචාර්යවරුන්ව පාරට ඇද දමා ඇත.
අපේ ප‍්‍රශ්න තවමත් එහේමම....
සොචිචම් මහපොළ, ශිෂ්‍යාධාරයක් ලබමින් තුන් වේළෙන් එක වේළක් කමින් මේ උපාධිය සම්පුර්ණ කිරීමට ඔබ අප ගන්නා උත්සහය පිළිබඳව අමුතුවෙන් ඔබට පැහැදිලි කර දීමට අවශ්‍ය යැයි අපි නොසිතමු.
කුමන්ත‍්‍රණය.....
අද දවසේ අප සරසවි සිසුන් ලෙස මහා ඉච්ඡභංගත්වයකින් පීඩා විදිමින් සිටිමු. අපේ උපාධියේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමටවත්, අපට අවශ්‍ය පහසුකම් ලබදීමටවත් ආණ්ඩුවට කිසිදු ඕනෑකමක් ඇතිබවක් පෙනෙන්නට නොමැත.
නමුත් නවක සිසුන්ට හමුදා පුහුණුවට කෝටි ගණන් වියදම් කිරීමටත්, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කර අධ්‍යාපනය ලාභ ලබන ආදායම් මාර්ගයක් කර ගැනීමටත් පුදුම උනන්දුවකින් කටයුතු කරන බව අපට පැහැදිලිව පෙනේ. මේ සියල්ල අවසානයේ සිදුවන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශවීම පමණි.
හේතුව...
එක්සත් ජාතින්ගේ සම්මතයට අනුව රටක් සාමාන්‍යයෙන් තම රටේ අධ්‍යාපනය සදහා ද.දේ.නි යෙන් 6%ක් වෙන් කළ යුතුය. ඉතියෝපියාව කියන ඉතා දුප්පත් රට පවා ද.දේ.නි යෙන් 4%ක් අධ්‍යාපනයට වෙන් කරයි. නමුත් අසියාවේ ආශ්චර්යය, දැනුමේ කේන්ද්‍රස්ථානය, ක්ෂිතිජයට ඉහළින් ලෝකය දකින සිසුවකු බිහි කිරීම වැනි මායාකාරි වදන්වලින් ජනතාව රවටන ආණ්ඩුව අධ්‍යාපනයට වෙන් කරනුයේ ද.දේ.නි යෙන් 2%ත් අඩු ප‍්‍රමාණයකි. අපේ මහපොළ, ශිෂ්‍යධාර වැඩි නොවීම, ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නොකිරිම වැනි සියලූ ප‍්‍රශ්නවලට හේතු වී ඇති කටුක යථාර්තය මෙයයි.
කළ යුත්තේ කුමක්ද?
අපේ උපාධියට වටිනාකම් ලබා ගැනීමටත් එය රැකගැනීමටත් වගකීම ඇත්තේ අපටමය. ඉතිහාසය පුරාවට වෙනුරලා, නිෂ්මිලා, ති‍්‍රමාලා, බාලේලා ජීවිත පරිත්‍යාගයෙන් අධ්‍යාපනය රැකදුන් නිසා අද අප මේ පමණකින් හෝ අධ්‍යාපනය ලබමු. නමුත් තව දුරටත් ඔවුන් දැල් වූ පහනින් එළිය ලැබීමට නොහැකි වෙමින් පවති. පාලකයන්ගෙ මර්දනය හමුවේ ඒ පහන් නිවී යාමට ආසන්න වී ඇත. එය වැලකීමට, ඒ මර්දනයේ සුළි කුණාටුවෙන් අධ්‍යාපනයේ පහන් සිල බේරාගැනීමට අප උනුන්ගේ අත් දැඩිව, තරව අල්ලාගත යුතු මොහොත එළඹී ඇත. සිසුන්, ආචාර්යවරු ඇතුලූ අප සියලූ දෙනාමට අද ඒ අවස්ථාව උදාවී ඇත. ඒ සඳහා අප සියලූ දෙනා එක් වෙමු ! සටන් කරමු ! අපේ ජීවිතය වෙනුවෙන් ! අපේ උපාධිය වෙනුවෙන් ! අපේ දෙමාපියන්ගෙ බලාපොරොත්තු වෙනුවෙන් ! අනාගත නංගිලා මල්ලිලාගේ බලාපොරොත්තු වෙනුවෙන් !
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්‍ෂාකර ගැනීමටත්, නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂාකර ගැනීමටත් පෙළ ගැසෙමු !
අපට සංවිධානයවීම ඇරෙන්න අන් අවියක් නොමැත. එසේ එකතුවුවහොත් අපට හැකි ඉක්මනින් සරසවිය විවෘතකර ගැනීමටත්, අධ්‍යාපන කටයුතු යථාතත්ත්වයට පත්කර ගැනීමටත් හැකිවෙනු ඇත.
මෙම තත්ත්වය යටතේ අභියෝග ජය ගැනීමට අපි වෙනුවෙන් අපි එක් විය යුතුය. ඒ සදහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායී අප ප‍්‍රාර්ථනා කරමු.