ආසියාවට ආශ්චර්යක් වූ ලංකාවේ රැකියා විරහිත උපාධිධාරියා

මේ දිනවල රට පුරා සාකච්ඡා වන මාතෘකාවක් බවට සරසවි සිසුවා පත් ව ඇත.පෞද්ගලික සරසවි ඇරඹීම පිළිබඳ කථිකාව වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් කරළිගත කිරීමත් සමඟ එතෙක් නිද්‍රාශීලීව සිටි සරසවි සිසුවා ඊට එරෙහිව අවදි වූහ.ඒ එස්.බී.මහතා සමග ඇති පෞද්ගලික තරහකට නොව තමන්ගේ අතීත පරපුර දිවිපුදා රැකගත් නිදහස් අධ්‍යාපනයේ නාමයෙනි.
අවාසනාවකට එය මෙරට බුද්ධිමත් සමහරුන්ට ද තවමත් තේරී නැත.සරසවි ගැටුම්,පහරදීම්,හූ කීම්,සිරගත කිරීම් ආදිය මැද අප කතා කිරිමට සූදානම් වන්නේ දහසක් දුක් බාධා කම්කටොලූ මැද උපාධිය ලබා තවමත් වසර 4ක් තිස්සේ දුක්විඳින රැකියා විරහිත උපාධිධාරීයා පිළිබඳව ය.අන්ලෙසකින් පවසතොත් මැතිවරණ කාලයේ දී පාලකයිනගේ නංගිලා,මල්ලිලා වන ඉන් පසු කරදරකාර උපාධිකාරයන් පිළිබඳ තිත්ත කතාව ය.
අපට හෙට දවසේ සුභ අනාගතයක් පතා පාරට බැසීමට සිදු ව ඇත.අප පාරට බසින විට ඒ පිළිබඳ මෙරට ජනතාව යමක් දැනසිටිය යුතු බැවින් මෙම ලිපිය ඉදිරිපත් කරනවා විනා මෙම කරුණු මෙරට සංවේදී පාලකයන්ට නම් නොවේ.
2004 වසරේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිනිය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව එවකට රැකියා විරහිතව සිටි උපාධිධාරීන් 42000කට රැකියා ලබාදීමෙන් පසු (මහින්ද පාලනය ලබාදුන් රැකියා 42000ක් නැත)බලයට පත් වත්මන් මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් උපාධිධාරී රැකියා ප‍්‍රශ්නය විසඳීමත් ගත් උත්සාහයක් නැත.‘‘කටින් බතල කොළ සිටවීමේ’’න්‍යායක් අනුගමනය කරන වත්මන් පාලනය ගෙනයන රැවටිලිකාර ගමන ජනතාවට පැවසිය යුතු ය.එය ඔබට ද, ඔබ වැටී ඇති අගාධයේ තරම තේරුම් ගැනීමට උපකාර වනු ඇත.
2005 ජනාධිපතිවරණ වේදිකාව දෙවනත් මහින්ද රාජපක්‍ෂ මහතා පැවසුවේ ‘‘මින් ඉදිරියට උපාධිධාරීන් මහමග රස්තියාදු නොකරන බවත්,පළමු වසර තුළ දී උපාධිධාරීන් 10,000කට රැකියා’’දෙන බවත් ය. ආශ්චර්ය දැන් උදා වී ඇත.පාලනය බාරගනිද්දී 10000කටත් අඩු ප‍්‍රමාණයක් සිටි රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රමාණය වර්තමානය වනවිට 35000 දක්වා වර්ධනය වී ඇත. එය ම ආශ්චර්යයක් නොවන්නේ ද ?
මේ වනවිට පසුගිය වසර කිහිපය පුරා උපාධිධාරීන් වන අප ලිපි මගින් අවස්ථා රැසක දී අදාල බලධාරීන් දැනුවත් කළෙමු.පළාත් මට්ටමින්,ජාතික මට්ටමින් දැනුවත් කිරීම්,උද්ඝෝෂණ සංවිධානය කළෙමු. ජනාධිපතිවරයාගේ පටන් සියලූම පක්‍ෂ,විපක්‍ෂ මැතිඇමතිවරුන් දැනුවත් කළෙමු.නමුත් ප‍්‍රශ්නය පටනගත් තැනම ය.දැන් අපට ඉතිරිව ඇත්තේ අයිතිවාසිකම් ඉල්ලා වීදි බැසීම ම පමණකි. අන්සියල්ල සිදුකර හමාර ය.වර්තමාන ආණ්ඩුවේ 40000කට ආසන්න පුරප්පාඩු ප‍්‍රමාණයක් තිබිය දී,35000ක් පමණ වන රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබානොදීම පිළිබඳ ඇස් කන් පියා සිටීමට අපට මේ අවස්ථාව නොවේ. මෙම පුරප්පාඩු ගණන අප පවසන්නක් නොවේ.ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛන යි.ඒ අතර පළාත්,ජාතික ගුරු පුරප්පාඩු 5000කට අධික ය.ජනසභා ලේකම් තනතුරු 14000ක් ගෙඩිපිටින් ඇත.ඒ සඳහා ඉල්ලූම්පත් ද කැඳවා සමහර ස්ථානවල සම්මුඛ පරීක්‍ෂණද සිදුකෙරිණි.මීට අමතරව රාජ්‍ය අංශයේ පුරප්පාඩු 25000ක් පවතින බව 2008 සැප්තැම්බර් මස හිටපු නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය ලිඛිතව පවසා ඇත.
රැකියා ලබාදීමට අදාළව ඇති පළමු ප‍්‍රශ්නය ඒ අනුව විසඳී ඇත.දෙවන ප‍්‍රශ්නය මුදල් ය.වර්තමාන ආණ්ඩුවට රැකියා ලබාදීමට මුදල් නැතැයි දැන් ‘‘කිඹුල් කඳුළු’’හෙළිය නොහැක.ඔවුන් පසුගිය කාලය පුරා මැතිරූ මන්ත‍්‍රය වන යුද්ධය දැන් අවසන් ය.(නමුත් ආණ්ඩුවේ පවතින නොහික්මුණු කමක තරම පෙනීයන්නේ 2011 වසර සඳහා යුද්ධය පවතිද්දී වෙන්කළාට වඩා වැඩි මුදලක් වෙන්කිරීමත් සමග ය)නමුත් අප සංඛ්‍යා ලේඛන පෙන්වමින් තර්ත කළේ යුද්ධය පැවති මොහොතේ ද ආණ්ඩුවේ නාස්තිය, දූෂණය සහ වංචාව නතර කළේනම් සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදිය හැකි බවයි.ඉන්පසු ගෙවුනු වසර එකහමාරක කාලය තුළ ද ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් වුණේ නැත.ආණ්ඩුව සිදු කළේ උපාධිධාරීන්ට රැකියා දීම නොව කෝටි ගණන් මුදල් වැයකරමින් නාස්තිකාර ‘‘අයිෆා’’වැනි උළෙලවල් සංවිධානය කරමින්,විනෝද වීමට,අතවැසියන් සමඟ කෝටි ගණන් වැය කරමින් රටරටවල රෝන්ද ගැසීම යි. රැකියා ලබාදීමට මුදල් නැතැයි කියූ ආණ්ඩුව මෙසේ වියදම් කරන්නේ සිය බිරිඳගෙන් ලද දෑවැද්දෙන්දැයි අපි ප‍්‍රශ්න කරමු.
දැන් ප‍්‍රශ්නය පැහැදැලි ය.එසේ ම පිළිතුර ද පැහැදිලි ය. ‘‘ගහ දන්නා අයට කොළ කඩාපෑමට’’ අවශ්‍ය නැත. ප‍්‍රශ්න වලින් පැන යා නොහැක.විශේෂයෙන් තවදුරටත් බොරු පොරොන්දු දිය නොහැක.වර්තමාන පාලක ජුන්ටාව පසුගිය මැතිවරණ ව්‍යාපාරය පුරාම උපාධිධාරීන් තම පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කළහ. එය මුළු ලංකාවම දන්නා කාරණයකි.උපාධිධාරීන් පත් ව සිටි අසරණභාවයෙන් ප‍්‍රයෝජන ගත් වර්තමාන ආණ්ඩුවට දැන් සියල්ලට පිළිතුරු දීමට, උත්තර බැඳීමට කාලය එළඹ ඇත. ජාතික, පළාත් ඇමැතිවරුන් ජනසභා ලේකම් තනතුරු, ගුරු පුරප්පාඩු පෙන්වමින්, උපාධිධාරීන් බේදබින්න කරමින් කළ නාටකය අවසන් ව ඇත. අප ද බලා සිටියේ නාට්‍යය අවසන් වන තුරු ය.දැන් වේදිකාව සියලූ දෙනාට ම විවෘත වී ඇත.ඒ බව කාටත් වඩා හොඳින් දන්නේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ය.ඒ නිසා තවතවත් සංශෝධන ගෙනඑමින් බලය රැස්කරගන්නා ලෙසත්, කටු ලෙවකන්නන් පෝෂණය කරන ලෙසත් ඉල්ලා සිටිමු.
මෙරට සරසවි සිසුවා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙරට එද්දී, තම ජඩමාධ්‍ය යොදාගෙන පතුරුවාලන බේගල් කන්දරාව හෙට දින නවතිනු ඇත.පොලිස් කුක්කන් යොදා කරන ආඩන්තේට්ටම් හෙට දින නවතිනු ඇත.කුළියට කහින කටුලෙවකන වුන් ඒ සියල්ල හෙට ඒ සියල්ල නවත්වනු ඇත.ඔබට නැවත අප වෙත ආ යුතු මොහොත එළඹෙනු ඇත.නුඹට අවැසි පාඩම අන්කිසිවකුත් නොව උපාධිධාරීයා විසින් උගන්වනු ඇත.හෙට දින මහෝඝයක්ව එන උපාධිධාරී අරගලයට දැන් ම සිට සූදානම් වන ලෙස සියලූ වගකිවයුත්තන්ට මෙයින් මතක් කරන අතර, අවසාන වතාවත ද උතුරු, නැගෙනහිර, දකුණ, වයඹ සිව්දෙසින් ඇදෙන් සිංහල,දෙමළ සහ මුස්ලිම් සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට අදාළ ප‍්‍රායෝගික වැඩපිළිවෙළ සකස් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.එසේ නොකරන්නේ නම් සිහසුනෙන් බැස යෑමට තැනක් සූදානම් කරගන්නා ලෙසත් අවධාරණය කරමු.පාලකයන් දැනගත යුත්තේ ලිලිපුට්ටන් ඉදිරියේ ගලිවරයන් ඇදවැටෙන බවයි.එසේ ම ඒ දිනය වැඩි ඈතක ද නොවනු ඇත.‘‘ආසියාවේ අශ්චර්යයට සුභ අනාගතයක්, උපාධිධාරීයාට හෙටක්.’’ ජයවේවා.

දිනිදු සමන් හෙන්නායක
කැඳවුම්කරු,
රැකියා විරහිත උපාධිධාරී සංගමය