ගුණාත්මක බවින් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල.

වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විදයාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්වවිදයාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්වවිදයාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්වවිදයාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ.
එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්වවිදයාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

2010 වසරේ ලෝකයේ හොඳම විශ්වවිදයාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිදයාලයයි. හාවර්ඩ් විශ්වවිදයාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විදයාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්වවිදයාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

ආසියානු විශ්වවිදයාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්වවිදයාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්වවිදයාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විදයාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විදයාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රරථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්වවිදයාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්වවිදයාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්වවිදයාලය ලෝකයේ හොඳම විශ්ව විදයාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විදයාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්වවිදයාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විදයාලය 2011 ජගත් විශ්වවිදයාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිදයාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විදයාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්වවිදයාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විදයාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විදයාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විදයාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.[උපුටා ගැනීම (webometrics.info)]2011 ලෝක විශ්ව විදයාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විදයාලය 2615 ද රුහුණ විශ්වවිදයාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්වවිදයාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විදයාල ශ්‍රී ලංකාවේ විශ්වවිදයාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්වවිදයාලයද ශ්‍රී ලංකාවේ විශ්වවිදයාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාවේ විශ්ව විදයාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විදයාලයේ ඡේෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්වවිදයාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්වවිද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විදයාලවල ගුණාත්මකභාවය සීග්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්වවිදයාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.