හැකිනම් ආචාර්යවරුන් සේවයෙන් පහකරන්න...

බේරුම්කරණය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස්‌වරයා යළි ලිඛිත දැනුම්දීමක්‌ කර ඇතැයිද කිසිසේත් බේරුම්කරණ ක්‍රියාමාර්ගයට එකඟ නොවන බවද හැකිනම් ආචාර්යවරුන් සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා සිටින බවද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූවේ සම්මේලනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු දැක්‌වීම සඳහා කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම ගැටලුව නොවිසඳී තිබෙන්නේ ආචාර්යවරුන් නිසා නොවන බව ද ගැටලුවට විසඳුම් දීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව ඇතුළතම මත දෙකක්‌ තිබෙන බව පැහැදිලි යැයිද ඒ මහතා කීවේය.

ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට සාධනීය ලෙස මැදිහත් වන්නැයිද ආණ්‌ඩුවෙන් ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂය, ආචාර්ය පී. බී. ජයසුන්දර ගැටලුව විසඳීම පිළිබඳ සාධනීය ප්‍රවේශයක සිටියද උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු දේශප්‍රේමීන් පිරිසක්‌ පුහු අවලාද නැඟීමට පටන් ගෙන ඇතැයි ද කියා සිටියේය.

සිසුන් ගැන සානුකම්පිතව සිතා බලා උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීම් ආරම්භ කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලීමක්‌ කිරීම ගැන අදහස්‌ පළ කළ හෙතෙම සියල්ල ඇනගත් පසු හැම දෙනාටම සානුකම්පාව මතක්‌ වන බව ද තමන්ගේ ඉල්ලීම්වලට විසඳුම් දුන් වහාම කිසිවකුගේ ඉල්ලීමකින් තොරව ඇගයීම් කටයුතු ආරම්භ කරන බව ද සඳහන් කර සිටියේය.