අරගලයක දින සටහන්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය තවමත් නිමා වී නැත. මේ එම අරගලයේ විශේෂ අවස්ථා කිහිපයකි.
2008 ජනවාරි 31 - ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග අරලියගහ මන්දිරයේ දී වැටුප් නැවත සකස් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම.
2008 සැප්තැම්බර් 08 - වැටුප් සම්බන්ධ යෝජනාවක් වැටුප් හා සංඛ්‍යාලේඛන කොමිසන් සභාවට ලබාදීම.
2009 නොවැම්බර් 12 - එම යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දීම.
2009 දෙසැම්බර් 09 - ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අධ්‍යයන දීමනා 25%ත් 50%ත් අතර ඉහළ දැමීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීම.
2010 පෙබරවාරි 22 - එකඟතාවන් ක‍්‍රියාත්මක නොකළහොත් 2010මාර්තු 12සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට යොමුවන බව රජයට දැනුම් දීම.
2010 මාර්තු 22 - මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම.
2010 අයවැය මගින් වැටුප් ප‍්‍රශ්නය විසඳන බවට උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක පොරොන්දු වීම. 2010 අගෝස්තු 02 - වැටුප් ව්‍යුහය සම්බන්ධයෙන් ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීම. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කිරීම.
2010 අගෝස්තු 05 - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සාමාජිකයන්ගේ රැස්වීමක් කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීම.
2010 අගෝස්තු 12 - උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක සමග සාකච්ඡාවක් පැවැත්වීම.
2010 අගෝස්තු 13 - ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සමග සාකච්ඡා කිරීම. 2010අගෝස්තු 25 - සතියක කාලයක් තුළ ප‍්‍රශ්නය විසඳන බවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඊමේල් පණිවුඩයක් ආචාර්ය සමිති සම්මේලනයට යැවීම.
2010 අගෝස්තු 27- ඇමැති එස්.බී. දිසානායක සමග සාකච්ඡාවක් පැවැත්වීම. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සාමාජිකයන්ගේ රැස්වීමක් කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීම. වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ලෙස පීඨාධිපති තනතුරු ඇතුළු ස්වේච්ඡා සේවාවන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම. 2010අගෝස්තු 30 - වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධව ඒ වන විට පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම.
2010 සැප්තැම්බර් 02 - කෑම පැයේදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණය අවලංගු කරයි.
2010 සැප්තැම්බර් 04 - මහාචාර්ය සම්පත් අමරතුංග, ආචාර්ය රොහාන් ප‍්‍රනාන්දු, මහාචාර්ය සුදන්ත ලියනගේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සමග සාකච්ඡාවක් පැවැත්වීම.
2010 සැප්තැම්බර් 05 - වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරන ලද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් මහාචාර්ය සම්පත් අමරතුංග වෙත භාරදීම. ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකයන් විසින් නිල නොවන සාකච්ඡාවක් විවෘත විශ්වවිද්‍යාලයේදී පැවැත්වීම. මෙහිදී වැටුපට අදාළව දීමනා ලබාදීමට රජයට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
2010 සැප්තැම්බර් 06 - මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර සමග අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වීම. ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීම. මෙහිදී වෘත්තීය කි‍්‍රයාමාර්ග තාවකාලිකව නතර කිරීමට තීරණය කරයි.
2010 සැප්තැම්බර් 08 - සේවා වාර්තා සැලැසුම් කිරීම, නව බඳවා ගැනීම්, උසස්වීම් සම්බන්ධව 2006/06චක‍්‍රලේඛයට අනුව සකස් කිරීම.
2010 සැප්තැම්බර් 15 - උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත කැබිනට් පත‍්‍රිකාව භාරදීම.
2010 සැප්තැම්බර් 28 - මුදල් අමාත්‍යාංශයේ ලේකම්, කළමනාකරණ සේවා මණ්ඩලය සහ ජාතික වැටුප් සහ සේවක කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීම. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත සේවා වාර්තාව භාරදීම.
2010 ඔක්තෝබර් 05 - ජාතික වැටුප් සහ සේවක කොමිසමේ ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වීම.
2010 ඔක්තෝබර් 18 - පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාවට අනුමැතිය ලබා ගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න විසින් කැබිනට් ලේකම් වෙත භාරදීම.
2010 ඔක්තෝබර් 25 - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සාමාජිකයන්ගේ 14වැනි රැස්වීම පැවැත්වීම. එහිදී වැටුප් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඒ වන විට පැවැති තත්වය හා ඉදිරි ක‍්‍රියාමාර්ග සාකච්ඡා කිරීම.
2010 නොවැම්බර් 01 - ජාතික වැටුප් හා සේවක කොමිසම සමග සාකච්ඡාවක් පැවැත්වීම. මෙය අයවැය යෝජනාවලියට අදාළව ජනාධිපති ලේකම්වරයාගේ ද සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2011 ජුනි 01 - මහනුවර තැපැල් සංකීර්ණ ශ‍්‍රවණාගාරයේදී සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම හා පෙළපාළියක් සංවිධානය කිරීම.
2011 ජුනි 13 - මාතර සමුපකාර මන්දිරයේදී සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම සහ පෙළපාළියක් සංවිධානය කිරීම. 2011 ජුනි 21 - කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම. කොළඹ විශ්වවිද්‍යාලයේ සිට මහජන පුස්තකාලය දක්වා පෙළපාළියක් සංවිධානය කර තිබීම. මේ සඳහා ශිෂ්‍යයන් ද සහයෝගය ලබාදුනි.
2011 ජුනි 30 - අනුරාධපුර යොවුන් නිකේතනයේදී සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම සහ පෙළපාළියක් සංවිධානය කිරීම.
2012 මැයි 09 - ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට සහයෝගය ලබාදීම සඳහා උද්ඝෝෂණයක් පැවැත්වීම.
2012 ජූලි 04 - දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම, ස්වාධීන තීන්දු තීරණ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශ්වවිද්‍යාල නිර්දේශපාලනිකකරණය කිරීම, 2008වසරේ යෝජිත වැටුප් වර්ධක ලබාදීම, ආචාර්යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුල් කිරීම ආදී ඉල්ලීම් මුල් කරගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම.
2012 අගෝස්තු 15 - ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයට සහාය පළ කරමින් උද්ඝෝෂණයක් හා රැලියක් පැවැත්වීම.
2012 අගෝස්තු 23 - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් විරෝධතා පා ගමනක් සහ රැලියක් පැවැත්වීම.
2012 ජූලි 04 - වැඩ වර්ජනය ආරම්භ විය. සැප්.12වැනි දින වන විට ආණ්ඩුව සමග සාකච්ඡා වට 12ක් පවත්වා තිබේ. නමුත් විසඳුමක් දීමට මෙතෙක් ආණ්ඩුවට හැකි වී නැත. ආෂිකා බ‍්‍රාහ්මන