අධිකරණයට අපහාස කළ බවට ප්‍රතිපාදන කොමිෂමට චෝදනා...

උසස් පෙළ ලකුණු ප්‍රමාදයකින් තොරව නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 25 වැනිදා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම මගින් අධිකරණයට අපහස නොකළ බව තහවුරු කිරීමටහේතු ඇත්නම් ලබන 23 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතාට නියෝග කළේය.
එදින පෞද්ගලික උසාවිය හමුවේ පෙනී සිටිය යුතු බවට ඔහුට නොතීසියක්‌ මගින් දැනුම් දෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්‌ට්‍රාර්වරයාට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ ලංකා ගුරු සංගමය හා උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක්‌ මෝසමක්‌ මගින් කළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුවයි. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (19 දා) එම කරුණු සාකච්ඡාවට ගත් අවස්‌ථාවේදී මුලින් නැගී සිටි විභාග කොමසාරිස්‌ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මොරින් පුල්ලේ මහතා කරුණු දක්‌වමින් කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයට අනුව ඉසෙඩ් අගය ප්‍රතිඵල ලබන 25 ට හෝ ඊට පෙර නිකුත් කිරීමට අවසන් කටයුතු සූදානම් කර ඇති බවයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස්‌ මුස්‌තාපා මහතා පෙනී සිටි අතර ඔහු කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයට අනුව පැරැණි හා නව නිර්දේශ යටතේ සිසුන් ලැබූ ලකුණු වෙන වෙනම ගණනය කොට ඉසෙඩ් අගය සකස්‌ කිරීමේ කාර්යය වෙනත් කමිටුවකට පැවරීමට සිදුවූ නිසා යම් ප්‍රමාදයක්‌ සිදුවූ බවයි. මුලින් පත් කළ කමිටුවට ඇතුළත් වූ අධ්‍යාපනඥයන් කිසිවකු එම කාර්යය සඳහා කිසිදු සහායක්‌ ලබාදීමට කැමැත්තක්‌ නොදැක්‌වූ බවද, කෙසේ වුවද කමිටුව දින 11 ක්‌ රැස්‌වූ බවද ජනාධිපති නීතිඥ මුස්‌තාපා මහතා කීය.
පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ පෙත්සම දීර්ඝ ලෙස සලකා බලා ඉසෙඩ් ලකුණු ක්‍රමය හදුන්වා දුන් මහාචාර්ය ඕ.ඒ. තටිල් මහතා ඇතුළු විද්වතුන්, වගකිවයුතු බලධාරීන් හා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බලා තම අධිකරණය පසුගිය 25 වැනිදා එම නියෝගය නිකුත් කළ බවත් පෙත්සම ඉදිරිපත්වූ දින සිට ඒ සම්බන්ධයෙන් තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවස්ථාව තිබූ බවත් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය එහිදී පෙන්වාදුන්නාය. එලෙස ක්‍රමවත්ව මැදිහත්වීමක් කල හැකිව තිබියදීත් එම වගකීම ඉටුකිරීමට අපොහොසත්වූ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව තම අධිකරණය මගින් ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටතදී කරුණු දැක්වීම හා එකී නියෝග ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට කළ අපහාසයක් ලෙස සැලකීමට සිදුවන්නේ යැයිද අගවිනිසුරුවරිය එහිදී ප්‍රකාශ කළාය. වැඩිදුර විභාගය ලබන 23 දා පැවැත්වේ.

No comments:

Post a Comment