විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නව වැටුප් රාමුවක් - වර්ජනය ගැන තීරණය බදාදා...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ගැටළුවලට විසදුමක් ලෙස නව වැටුප් රාමුවක් සකස් කිරීමට මුදල් අමාත්‍යංශ්‍ය එකඟතාවය පළ කර තිබේ. ඊයේ (08) මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළකොට තිබේ.
ඒ අනුව පරිවාස කාලයේ සිටින සහ දෙවැනි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ට වැටුප් වැඩි වන අයුරින් නව වැටුප් ව්‍යුහය සකස් කිරීමට නියමිතය. එය අද දිනයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත ලබාදීමට නියමිතය. මෙම ශ්‍රේණිවල වැටුප් වැඩි වන්නේ නම් පසුගිය ජනවාරි මාසයේදී නිකුත් කරන ලද අංක 975 දරන චක්‍රලේඛයේ සඳහන් සෙසු වැටුප් තලයන් පිළිගැනීමටද සම්මේලනය එකඟතාව පළ කළේය. අංක 975 දරන චක්‍රලේඛය සම්මේලනය ප්‍රතික්‌ෂේප කළේ එමගින් පරිවාස කාලයේ සිටින සහ දෙවැනි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය අඩු නිසාය.

මෙම වැටුප් වැඩිවීම සම්බන්ධ යෝජනාව විශ්වවිද්‍යාල ආචාර්ය සංගම්වලට අද ලබාදී හෙට පැවැත්වෙන විධායක කමිටුවේදී සාකච්ඡා කර එය පිළිගන්නේද නැද්ද යන්න ගැන අවසන් තිරණයකට එළැඹෙන බව සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය ටෙරන්ස්‌ මධුජිත් මහතා පැවැසීය.