නිශ්චිත විසඳුමක් නෑ; ඇදුරෝ අද වැඩ අරඹති..
වැටුප් වැඩි කිරීම ඇතුළු සෙසු ඉල්ලීම්වලට නිශ්චිත විසඳුම් ලැබීමකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අද (11 වැනිදා) අවසන් කෙරේ.
වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‌ෂ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. එහිදී දෙපාර්ශ්වය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට තීරණය කර ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සම්මේලනයට ලබා දුන් ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් ලියවිල්ල ගැන අද පැවැත්වෙන විධායක සභාවේදී සාකච්ඡා කරන බවද වර්ජනය අවසන් කිරීම සහ යළි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කෙරෙන්නේ එම සාකච්ඡාවේදී බවද සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.
ලේකම්වරයා විසින් ලබාදෙන ලද ලියවිල්ලේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට නිශ්චිත විසඳුම් නොමැති බවද එය හුදෙක් ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් ලියවිල්ලක් බවද දැනගන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා ද (09 වැනිදා) විධායක සභාව කැඳවා තිබූ අතර එහිදීද ඇතැම් සාමාජිකයන් ඊට විරෝධතාව පළ කර ඇත. එම ලියවිල්ල ඊයේ (10 වැනිදා) ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි ආචාර්ය සංගම්වලද සාකච්ඡාවට භාජන කෙරුණු අතර අද විධායක සභාව පැවැත්වෙන්නේ එම සංගම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි.
කෙසේ වුවද රාජ්‍ය අධ්‍යාපනයට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ ප්‍රතිපත්තිමය ලියවිල්ල වැදගත් යෑයි සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කළේය.
දෙවැනි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ට හා පරිවාස කාලයේ සිටින කථිකාචාර්යවරුන්ට වැටුප් වැඩි කළ යුතු බවට සම්මේලනය මීට පෙර ඉල්ලා සිටි අතර එම ශ්‍රේණිවලට වැටුප් වැඩි වන්නේ නම් පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ අංක 975 චක්‍රලේඛයෙන් කළ වැටුප් වැඩි වීම පිළිගැනීමට සම්මේලනය තීරණය කර තිබිණි.
අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන මුදල් යම් ප්‍රමාණයකින් හෝ වැඩි නොවන්නේ නම් 975 චක්‍රලේඛයෙන් කළ වැටුප් වැඩිවීම පිළිනොගැනීමට ඇතැම් ආචාර්යවරු තීරණය කර සිටිති.