ආචාර්යවරුන් 6,646ක් පුරප්පාඩුයි...

මුළු විශ්වවිද්‍යාල පද්ධතියටම ආචාර්යවරුන් හයදහස් හයසිය හතලිස් හයකගේ (6,643) පුරප්පාඩුවක් පවතින බව ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව අනාවරණය කළේ එම සමිති සම්මේලනය විසින් ඊයේ (18) කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. 

විශ්වවිද්‍යාලවල අනුමත අධ්‍යයන කාර්ය මණ්‌ඩලය 7,530ක්‌ වන අතර දැනට සේවය කරමින් සිටින්නේ 4,984 දෙනකු පමණක් බවත් මේ අතරින් 603ක් තාවකාලික පදනම මත බඳවාගෙන සිටින ආචාර්යවරුන් බවත් උන්වහන්සේ පැවසූහ. ඒ අනුව වුවද සරසවි ආචාර්යවරුන් 2,546කගේ හිගයක් පවතින බවත් එම තාවකාලික පිරිස නොමැතිව ගත්කල ආචාර්යවරුන් 4,354කගේ පුරප්පාඩුවක් පවතින බවත් උන්වහන්සේ පැවසූහ.

සමස්‌තයක්‌ වශයෙන් ස්‌ථිර ආචාර්යවරුන්ගේ හිඟය 43% ක්‌ වන අතර තාවකාලික පදනම යටතේ බඳවාගෙන සිටින ආචාර්යවරුන්ද ඇතුළත් වන්නේ නම් හිඟය 34%කි.

ජාත්‍යන්තර සම්මතයන්ට අනුව නම් මෙරට විශ්වවිද්‍යාලවල ඇති 88,000ක්‌ පමණ වන සිසුන් වෙනුවෙන් ආචාර්යවරුන් 11,000ක්‌ සිටිය යුතු නමුත් එම අඩුව පිරවීමට නම් ආචාර්යවරුන් 6,646කගේ පුරප්පාඩුවක් පවතින්නේ යෑයි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසති.

එම සම්මතයට අනුව සිසුන් 08කට එක් ආචාර්යවරයෙකු බැගින් සිටිය යුතු වුවත් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටිනුයේ සිසුන් 20කට එක් ආචාර්යවරයෙකු පමණකැයිද මෙවැනි ශිෂ්‍ය ආචාර්ය අනුපාතයක්‌ වෙනත් කිසිදු රටක නැතැයිද වැඩිදුරටත් උන්වහන්සේ පැවසූහ.