අසත්‍ය චෝදනා එල්ල කර අවිශිබම කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම තරයේ හෙළාදකිමු - CAUG

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා කිසිඳු කරුණු දැක්වීමකින් තොරව අසත්‍ය චෝදනා එල්ල කර අත්අඩංගුවට ගැනීම හෙලාදකිමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධි ධාරීන්ගේ සගමය විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.
එහි කැඳවුම්කරැ ධම්මික මුණසිංහ සහෝදරයා විසින් නිකුත්කරන ලද නිවේදනය මෙසේයි, ආචාර්ය, සේවක ගැටලූ විසඳා සරසවි අධ්‍යාපනය යථා තත්ත්වයට පත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින්  19 දින කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාරය අවසන් කර එමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් සංජීව ගමන්ගත් බසයට නැග, අතරමගදී බසය නවත්වා කිසිදු හේතු දැක්වීමකින් තොරව මෙසේ රැුගෙන ගොස් ඇත . පසුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විසින් පවසා ඇත්තේ චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවටගත් බවයි. පුදුමයට කරුණ වන්නේ එවැනි චෝදනා අත්අඩංගුවට ගැනීමට පෙර ඉදිරිපත් නොකිරීමයි. එකී චෝදනාද කිසිදු පදනමක් නැත.
ආණ්ඩුවේ නොහැකියාව මත අර්බුදයට ගොස් ඇති අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූ විසදන ලෙස බලකරමින් සිදුකරගෙන යනු ලබන විරෝධතා ව්‍යාපාරය නතර කිරීමේ අරමුණින් සිදු කළ මෙම අත්අඩංගුවට ගැනීම සියලූ පුරවැසියන් හෙළාදැකිය යුතුය. සමස්ත අධ්‍යාපනයම අවුල් ජාලාවක් වී ඇති මේ මොහොතේ ඒ වෙනුවෙන් නොබියව සටන් කරන ශිෂ්‍ය නායකයින් මෙසේ අත්අඩංගුවට ගැනීම බරපතල තත්ත්වයකි. පසුගිය කාලය පුරා ආණ්ඩුව විසින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට උත්සාහ ගත් බව නොරහසකි. ඒ අන් කවරක් නිසාවත් නොව ආණ්ඩුවේ උවමනාව වන අධ්‍යාපනය විකිණීමට ඉඩ නොදීමයි. ඊට එරෙහිව කොන්දේසී විරහිතව සටන් කිරීමයි.

විශේෂයෙන් සොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්, නිදැල්ලේ හැසිරෙද්දී, අසාධාරණයට එරෙහිව, අයිතීන් වෙනුවෙන් සටන් කළ පිරිස් වෙත මෙසේ මර්දනය දියත් කිරීම සුළුකොට තැකිය නොහැක. ජනතාවගේ සාධාරණ ප‍්‍රශ්න වලට විසඳුම් ලබාදීමට නොහැකි වත්මන් ආණ්ඩුව සිදුකරන මෙවැනි කි‍්‍රයා නතර කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතුය.

එම නිසා අසත්‍ය චෝදනා එල්ල කර අත්අඩංගුවටගත් සංජීව බණ්ඩාර සහෝදරයා වහාම නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරන අතර, මෙම අසාධාරණයට එරෙහිව පෙළගැසෙන මෙන් සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු.