සපත්තුවට පෑගෙන උපාධිය...
අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකණු ලබාගෙන සරසවි වරම් හිමිකරගන්නේ අතලොස්සක ප‍්‍රමාණයකි. සුවහසක් මව්පියෝ සරසවියට තේරුණ තම දුවා දරුවන් පිළිබඳ කප්පරක් සිහින මවති. ඔවුන්ට දැනෙනුයේ තම දරුවන්ට රජකම ලැබුණා වැනි හැඟීමකි. මගේ දුව, පුතා ඉගෙන ගන්නේ විශ්වවිද්‍යාලයේ යනුවෙන් කට පුරා ආඩම්බර හැඟීමකින් පැවසීමට ඔවුහු කිසිදිනක මැලි නොවෙති.
විශ්වවිද්‍යාලයට තේරුණ තම දරුවන් අනාගත රජුන් වනු දැකීමට සිහින දකින මව්පියන් තම දරුවන් දේශපාලකයින් ලඟ සිඟමන් යදිනු ඇතැයි සිහිනෙන් වත් අපේක්ෂා නොකරති. නමුත් වර්ථමාන උපාධිධාරියාගේ ඛේදවාචකය හා ඉරණම එලෙස ලියවී තිබීම කනගාටුවට කරුණකි.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු සුඛෝපභෝගී ජිවිතයක් යැයි සමහරු සිතනු ඇත. නමුත් එහි ඇති කඨෝරත්වය අත්විඳින්නෝ සරසවි අධ්‍යාපනය ලබන්නෝ මිස අන් කවරහුද? දේශපාලකයන් විසින් සුරංගනා කතා මවමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇති සුන්දරත්වය පිළිබඳ උදම් අනති.සමාජයේ බහුතරයක් පිරිසද ඔවුන්ගේ අගනා කතා හමුවේ සුන්දර ලෝක මවා ගනිති. වසර හතරක් හෝ පහක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ කුසට නිසි අහරක් නොමැතිව නෙතට නිසි නින්දක් නොමැතිව නේක දුක් කම්කටොලූ විඳිමින් ලබා ගන්නා උපාධියේ වටිනාකම කුණු කොල්ලයට දමා තිබීම කෙතරම් සර්ව සාධාරණද? අසාධාරණය රජයන සමාජක‍්‍රමයක් තුළ සාධාරණත්වය සෙවීමද කළු නික සෙවීමකි. නමුත් අසාධාරණත්වය හමුවේ නිවටයන් සේ තපස් රැුකීම මිනිස්කමට ද නිගරුවකි.
මවුපියෝ එදා වේල නොකා නොබී උපයන සොච්චමෙන් සරසවි අධ්‍යාපනය ලබන තම දරුවන්ට වියදම් කරන්නේ අනාගත සුබ සිහින අපේක්ෂාවෙනි. ඒවා ගඟට කැපූ ඉනි සේ අපේක්ෂා භංගත්වයට පත් වන විට එසේ දකින සිහින සිහින පමණක්ම මිස කෙදිනකවත් යතාර්ථයක් නොවනු ඇත.
ධනය බලය හමුවේ උගත්කම බාල්දුවට ලක්වන යුගයක උපාධියක් අපේක්ෂා කිරීම පවා අණුවන ක‍්‍රියාවකි.
උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා ගැනීමේ ප‍්‍රමුඛස්ථානය හා එකම සුදුසුකම දේශපාලන සුදුසුකම වන අතර උපාධිය හෝ පංති සාමාර්තය යනු කිසිවක් කිසිදු වැදගත් කමක් නොමැති සාධක වේ එබැවින් වර්ථමානයේ සෑම මව්පියෙකුගේම ප‍්‍රයත්නය විය යුත්තේ තම දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දී උගතෙක් කිරීම නොව දිනන පැත්තක් බලා දේශපාලඥයින්ට වැඩ කිරීමය. ‘‘උගත මනා ශිල්පයමයි මතු රැුකෙනා’’ යන පඬිවදන මුසාවක් බවට පත් කරමින් ‘‘දේශපාලකයින්ට කඬේ ගියොත් මතු රැුකෙනා’’ යන නූතන උදාන වාක්‍ය කරළියට පැමිණ තිබේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කොට වසර ගනනාවක් ගතව ඇති රැුකියා විරහිත උපාධිධාරීන් බහුතරයක් සිටියදී වෙනත් පෞද්ගලික පාඨමාලාවක් හැදෑරුවන් සඳහාද උපධිධාරී පත්වීම් ලබා දීමේ පදනම කුමක් ද යන උභතෝකෝටික පැණය මතුවේ. දේශපාලන ලැයිස්තු වලට නම ඇතුලත් කර ගැනීමට දේශපාලන කඩ තුළ දින ගණන් රස්තියාදු වන උපාධිධාරියාට සමාජය තුළ හිමි තැන කුමක් ද යන්න පසක් වේ.
රජයේ ගැසට් නිවේදනය මගින් උපාධිධාරීන්ට අභ්‍යාසලාභී සංවර්ධන සහකාර තනතුර සඳහා අයදුම් පත් කැඳවා තිබූ අතර ඇතම් උපාධිධාරීන්ට මෙහි සම්මුඛ පරීක්ෂණය පැවැත්වූයේ පත්වීම් ලැබීමෙන් අනතුරුව වීම හාස්‍යට කරුණකි. එනම් ඕනෑම රටක සාමාන්‍ය ක‍්‍රමය වන සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව රැකියාව ලබා දීම යන ක‍්‍රමයද කනපිට පෙරළමිනි. මෙම ගැසට් නිවේදනය අනූව සම්මුඛ පරීක්ෂණය පවත්වා මේ වන විට මාස කීපයක් ගත වී ඇතත් සමහර උපාධිධාරීන්ට තවමත් පත්වීම් ලැබී නොමැත. ඒ සඳහා දේශපාලඥයින් ඉදිරිපත් කරන අලූත්ම තර්කය වන්නේ 2010, 2011 වර්ශවල උපාධිය සම්පූර්ණකර ඇති උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම නතර කරන ලෙස චක‍්‍රලේඛයක් නිකුත් වී ඇති බවයි. එහෙත් මේ වන විට 2010,2011 වර්ශවල උපාධි ලාබාගෙන ඇති උපාධිධාරීන්ට පමණක් නොව තවමත් උපාධිය සම්පූර්ණ කර නොමැති පිරිසකට පවා පත්වීම් ලබා දී ඇති අතර උපාධිධාරීන් පිරිසකට පමණක් මෙම චක‍්‍රලේඛය වලංගුවන්නේ කුමන පදනම මතද යන ගැටළුව මතු වේ.
මෙම චක‍්‍රලේඛ වලංගු වන්නේද ඇතම් දිස්ත‍්‍රික්ක වලට පමණි. සමහර දිස්ත‍්‍රික්කයට නම් එම චක‍්‍රලේඛ කිසිවක් වලංගු නැත. දැන් අපට කීමට සිදු වන්නේ කොළඹට කිරි නොව හම්බන්තොටට කිරි යනුවෙනි. ඇතැම් උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පත්වීම් හිමි වීමටත් ඇතැම් උපාධිධාරීන්ට කුඩම්මාගේ සැලකිළි ලැබීමටත් හේතුව දේශපාලන හිතවත්කම් මත ලකුණු හිමිවීම බව සියලූ දෙනාටම නොරහසකි.
උපාධිධාරියාගේ උපාධියේ වටිනාකම නොවටිනා තත්ත්වයකට පත්ව ඇත්තේ සමාජයේ බහුතරයේම වරදිනි. දේශපාලකයින්ගේ නිලයට, ධනයට, බලයට යට වන උපාධිධාරියාට සමාජය තුළ සිදු වන බලවත් අසාධාරණය හමුවේ තවදුරටත් දෑස් පියා සිටිය යුතුද?
එස්. හෙට්ටිආරච්චි
(කොළඹ විශ්වවිද්‍යාලය)
ලංකාදීප පුවත්පත 2012-07-01
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment