අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් අ.වි.ශි.බ.ම හා වෛද්‍ය පීඨ කි‍්‍රයාකාරීන් එකතු වේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට හා අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව එක්ව සටන් වැදීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව තීරණය කර ඇත.
මේ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව එක්ව ඊයේ (30) මරදාන CSR ශාලාවේ දී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කරන ලදී.
එහිදී අදහස් දැක්වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නිලාන් ප‍්‍රනාන්දු සහෝදරයා,
 ‘‘වර්තමාන ආණ්ඩුව බලයට පත් වූයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකරණ බවට පැහැදිලි පොරොන්දුවක් දීලා. නමුත් අධ්‍යාපනය පෞද්ගලීකරණය තම ප‍්‍රතිපත්තිය බව දැන් ආණ්ඩුව කියනවා. අද මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණයේ නියාමන ව්‍යාපෘතිය බවට පත්වෙලා. 
අධ්‍යාපනය ගුණාත්මක ලෙස ඉහළ දැමීම, අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අධ්‍යාපන පෞද්ලීකරණයේ අරමුණු ලෙස ආණ්ඩුව තර්ක ඉදිරිපත් කරනවා. හැබැයි පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පත් කළ කමිටුවෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව එළිදැක්වූ වාර්තාව මගින් උසසපෙළ අසමත් සිසුන් පවා එහි ඉගෙනුම ලබන බවත් විභාගය 8 වරක් අසමත් වූ විදේශ වෛද්‍ය උපාධිධාරීන් පවා එහි කථිකාචාර්යවරුන් ලෙස සේවය කරන බවත් හෙළිවෙලා තියෙනවා. එම නිසා ඉතා පැහැදිලියි ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳ තර්ක ලප් තැනම ලොප් වෙලා තියෙනවා. අධ්‍යාපන පෞද්ගලීකරණයේ ආනිසංස නිසා අද මුළු රට ඉදිරියේම හෙළිදරව් වෙලා අවසානයි. ඒ නිසා අද රටේ නැගී එන ජනතා විරෝධය හමුවේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි නොකර ඉන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඉදිරි කාලය කියන්නේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇතුළු අධ්‍යාපන පෞද්ගලීකරණ කි‍්‍රයාවලිය පරාජයට පත්කිරීමේ අරගලය උත්සන්න වන කාලයයි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව ලෙස අපි අද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් සමග එකතුවෙලා ඉන්නේ අන්න ඒ අරගලයේ පොදු ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස පෙරමුණ ගන්නයි’’

එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

  ‘‘වෙන් වෙන්ව එකම අරමුණක් වෙනුවෙන් අරගල කරපු අපි එකට එකතුවෙලා මේ අරගලය ඉදිරියට ගෙනයන්න තීරණය කළා. ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යපෘතියේ ඉදිරියෙන්ම තියෙන්නේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය. ඒ නිසයි අධ්‍යාපන පෞද්ගලීකරණයට නිදහස් අධ්‍යාපනය වැනසීමට විරුද්ධව අරගල කරන ව්‍යාපාරයක් විදියට මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇතුළු සියලූ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවත් සමග එකතුවෙලා ඒකාබද්ධ කි‍්‍රයාමාර්ග ගන්න තීරණය කළේ.
ඔබ දන්නවා මාලඹේ වෛද්‍ය උපාධියක් විකුණන්නේ රුපියල් ලක්‍ෂ 65කට. ඒ අනුව එහි ඉගෙනගන්න සුදුසුකම් ලැබෙන්නම තමුන්ගේ එක ළමයකුට උපාධියක් අරන් දෙන්න විතරක් මාසෙකට රුපියල් ලක්‍ෂකට වඩා මුදලක් වියදම් කරන්න පුළුවන් දෙමාපියන්ගේ දරුවන්ට විතරයි. ඒ අනුව යටිමඩි ගහල සල්ලි හෙව්වෙ නැත්නම් ජනාධිපති ලේකම්වරයාටවත් බෑ තමන්ගේ දරුවව මාලඹේ යවන්න. මේ පිරිස රටේ ජනගහනයෙන් 2%කටත් අඩු පිරිසක්. තවත් දෙයක් තමයි මේ වෙද්දි මාලඹේ ආයතනය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තරම් පිරිහීමකට පත්වී තිබීම. 
අපි කියන්නේ මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දැමිය යුතුයි. හෙට දිනයේ සිට ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සිසු සිසුවියන් එක් ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට මේ වෙනුවෙන් දැවැන්ත අරගලයකට යොමුවෙනවා. ඒ අරගලය ජයග‍්‍රහණයෙන් මෙහා කිසිඳු හේතුවක් මත කෙළවර කරන්න කිසිසේත්ම සූදානම් නැහැ. ආණ්ඩුව ගෙන යන අධ්‍යාපන පෞද්ගලීකරණ කි‍්‍රයාවලියට එරෙහිව අප ඉදිරියේ දී අරගල කරනවා.
 මෙම අවස්ථාව සඳහා දෙපාර්ශ්වය නියෝජනය කරමින් ශිෂ්‍ය නියෝජිතයින් සම්බන්ධ වන ලදී.