මේ අවදිවිය යුතුව තිබුණ අයට අවදි වීමට කාලයයි..

සුවහසක් වූ ශ්‍රී ලාංකිකයිනි,

“අපි සරසවි සිසුවන් වෙමු” ඒ බව ඔබට කීවේ ආඩම්බරයකින් හෝ අභිමානයකින් නොව පිටතට නොපෙන්වන හදවතේ සඟවාගත් වේදනාකාරී විලාපයක් සමඟින් බව ඔබට කීමට අපි ලැජ්ජාශීලී නොවෙමු.
ඒ බොහෝ මාධ්‍ය වල ආවරණය වන පරිදි සරසවි ශිෂ්‍යයා වනාහී වත්මන් සමාජයට පිළලයකි යන මානයෙන් බැහැරව ගොස් සරසවි ශිෂ්‍යයා වනාහී සමාජයේම අවයවයක් බව අප අදහන නිසාවෙන් බවද අපි ඔබට කියමු. ඔබලාගේම ලෙයින් ජනිත වූ සරසවි සිසුන් වන අපට, ඔබට කීමට ඇති දෙය එලෙසින්ම සම්ප්‍රේෂනය කරගැනීමට වත්මන් මාධ්‍ය වලින් ලැබෙන්නා වූ දුර්වල ආවරණය හමුවේ මෙලෙසින් අප අදහස් ඔබ හමුවට ගෙන ඒමට තීරණය කළෙමු.

මේ අවදිවිය යුතුව තිබුණ අයට අවදි වීමට කාලයයි.

පුංචිකාලේ පුතේ ලොකු වෙලා කවුරු වෙන්නද හිතන් ඉන්නේ? කියල ඇහුවම අපි කිවුවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් කියලා.අපි අද ඉංජිනේරුවො නොවුනට ඉංජිනේරු ශිෂ්‍යයො.දොස්තරවරු නොවුනට වෛද්‍යය ශිෂ්‍යයො. ඒ අපේ අම්මලට හතර මහා නිධානය පහළ වෙලා තිබුණ නිසා නෙවෙයි.මේ පුංචි රටේ සතයක්වත් නොගෙවා අධ්‍යාපනය ලබන්නට තිබූ අයිතිය නැතිනම් නිදහස් අධ්‍යාපන අයිතිය නිසයි. ඔන්න ඔය කියන නිදහස් අධ්‍යාපනය උදෙසාවෙන් තමයි අවදි නොවිය යුතුව තිබුණ උන් ඉතිහාසය පුරාවටම අවදි උනේ.ඒ නිසාවෙන්ම යළි අවදි නොවන්නට නිදාගත් අයත් සිටියා.නමුත් අවදි විය යුතුව තිබුණ උන් තාමත් නිදාගෙන ඉන්නවා.නැතිනම් නිදාගෙන ඉන්නවා වගේ රඟපානවා.

කෙනෙකුට මේක කියවල හිතේවි මුන්ට පිස්සු කියල.තවකෙක් කියයි මුන්ට නිකන් කාලා බීල ඉන්න බැරුවට කරන වැඩක් කියල.තවකෙක් කියයි මුන්ට තියෙන ඉරිසියාවට කියල. එහෙත් ඇත්තටම කිව්වොත් අපට තව අවුරුද්දකින් නියතවම උපාධිය ලැබෙනව. රැකියාවක්ද ස්ථිරවම ලැබෙනව ඉතින් ඇත්තටම මේ ගැන කෑ ගහන්න අප‍ට පිස්සු ද? ගොඩක් අය කතා කරන විදියට ඇත්තටම අපට පිස්සුවක් තියෙනවා.සංවේදීත්වය කියන නහර කපල තියෙන සමාජයක අපි සංවේදී වෙන්නෙ මේ රටේ සුවහසත් වූ මහ ජනතාව ගැන. මෙය කියවන ඔබට ඔබේ දරුවාට ඔබේ සොයුරාට ලක්ෂ 65 ක් ගෙවා පෞද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය ලබා දීමට ඔබට හැකි ද ? ලක්ෂ 40 ක් වියදම් කර ඉංජිනේරුවකු කල හැකි ද ? ලක්ෂ 25ක් ගෙවලා කළමනාකාරයෙක් කරවන්න පුලුවන්ද ?ඔන්න ඔය ප්‍රශ්නෙම තමයි පහුගිය දෙසැම්බර් 21 වෙනිදා රුපියල් 500ක මුදලකට හා දේශපාලකයින්ගෙ වුවනාවට ගලහා හන්දියේ පැය දෙකකට තුනකට සරසවි ශිෂ්‍යයන්ගේ දෙමාපියන් මෙන් පෙනී සිටි නාඩගංකාරයින්ගෙන් ඇහුවේ.

ඔන්න ඔය ප්‍රශ්නෙම තමයි තමන්ගෙ දරුවන් වෙනුවෙන් කතා කරන සරසවියෙ ඉන්න දුවෙකුට පුතෙකුට පහර දෙන්නේ කෙසේද යැයි ඉහළින් ලද නියෝගයන්ගෙන් දෙගිඩියාවට පත් වී පසු ගිය 21 වෙනිදා ගලගා හන්දියේ කටු කම්බි වලට එහා පැත්තේ හිටපු පොලීසියෙ මහත්වරුන්ගෙන් අපි ඇහුවේ. තව දෙයක්, කොළඹ රාත්‍රී සමාජ ශාලා වල තරු හෝටල් වල කාමාතුරයන්ගේ කෙලි බඩු බවට පත් වන රුසියානු චීන යුක්රේන තරුණියන්ගේ කතා වල ඇරඹුම තම විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීම බව ඔබ නොදන්නවා නොවේ. යම් දිනක නුඹේ දුවත් වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට උසස් පෙළ අධ්‍යපනය පසෙක ලා තවත් එක් අදුරු කාමරයක කාටත් නෑසෙන ඉකි බිදුමක් හදවතෙහි හිර කර ගනිමින් ලොව පැරණිම රැකියාවට යොමු වන දිනය වැඩි ඈතක නොවේයයි ඔබට කියන්නේ බොහොම සංවේගයෙනි. ඉතින් මහත්වරුනේ එයයි ඔය කතාවේ තියෙන ඇත්තම් පැත්ත.

ආයෙත් අපි අපේ ප්‍රධාන මාතෘකාවට යොමු වෙමු.මේ කියන්නා වූ සංසිද්ධිත් එක්ක ලංකාවේ ඉන්න බහුතරයක් වූ ඔබ වැනි අයටයි මේ හෙණය පාත් වෙන්නේ.නමුත් කෝ ඒකට විරුද්ධව ඔබේ හඬ? ඔබේ සටන් පාඨ?කෝ ඔබේ විරෝධය?” අන්න ඒ නිසාවෙනුයි අපි කීවේ අවදි විය යුතුව තිබුණ උන් අවදි නොවී ,අවදි නොවී තිබිය යුතු උන් අවදි උනා කියලා” ( ඒ විතරක් නෙවෙයි .ඒ අය අර අවදි විය යුතුව තිබූ අයගේ දරුවන් උදෙසා ජීවිතයෙන් පවා වන්දි ගෙවූ බව අමතක කරන්න හොඳ නෑ.)ඔන්න ඕකයි මේකෙ තියෙන හාස්‍යය,වේදනාකාරී හාස්‍යය.

ඒ වගේම ඔය කියන කතාවේ තියෙන හාස්‍යය තීව්‍ර වෙන්නේ මේ කියනා කාරණයත් එක්ක.අපි දැන් අවුරුදු හතරකට කිට්ටු වෙන්න සරසවියෙ ඉන්නවා,සෙරෙප්පු කෑලි දෙකක් දාගත්ත රැවුල් කොට වැවිච්ච කෙසඟ නමුත් අති පණ්ඩිත (ලංකාවේ බොහොම දෙනාට සරසවි ශිෂ්‍යයන්ව පේන්නේ එහෙමනේ ) නිදහස් අධ්‍යාපනය කියන වචන දෙක අල්ලගෙන තොර තෝංචියක් නැතුව කෑමොර දෙන සරසවි ශිෂ්‍යයන් භූමිකාව නිරූපණය කරමින් ඉන්නවා.ඒ අවුරුදු කිහිපය තුළ අපි දෙදහස් පන්සීයෙ මහපොළයි ,ගෙදරින් ලැබෙන් සොච්චමයි අරගෙන පාරක් පාරක් ගානේ ඇවිද්දා.ගෙයක් ගෙයක් ගානේ ගියා.ඔළුව කැක්කුම හැදෙනකල් මහ අවුවේ පිකට් ගියා.පොලීසියේ මහත්වරුන්ගෙන් ගුටි කෑවා.අපේ සමහරු හිරගෙයි කූරු ගනන් කළා.

මේ ඔක්කොම කළේ අපට යන්න පාරක් හදාගන්න නෙවේ.රස්සාවක් දෙන්න කියලා නෙවේ.අපෙන් පස්සේ කැම්පස් එන්න බලාගෙන් ඉන්න අර කීව සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ ගැන තියෙන සංවේදී පරාර්ථකාමී හැඟීමෙන් .හැබැයි අපිට එක දෙයක් බැරි උනා.රුපියල් 100 ගානේ 10 දෙනෙකුට රුපියල් 1000ක් දීලා රුපියල් 50000 දාලා එම සමාජ සත්කාර්යය රූපවාහිනියේ විකාශය කරන මිනිසුන් සිටින රටේ අපේ කැප කිරීම ඔබට කියන්න අපට බැරි උනා.නැත්නම් රටේ ඉන්න ඇත්තෝ ඒක නොදුටුවා වගේ හිටියා.සමහරු නිහඬව නොඉද නක්කලේට අපට හිනාවුනා.”අපි සටන් වැදුනේ ඔබේ දරුවා වෙනුවෙන් අපට හිනා වෙන්න එපා.නිදහස් අධ්‍යාපනය නැතිවුනාම වරදින්නේ ඔබේ දරුවන්ට ” කියලා කියන්න එදා අපට ඕන උනා .නමුත් ඔවුන් ඒකටත් හිනාවුනා.ඒක තමා මේ කතාවේ තියෙන ඊළඟ හාස්‍යය.

මුදල් අහේනියකදී තම රූමත් බිරිය මුදල් කරවීමට බලා සිටින ස්වාමි පුරුෂයෙකුගේත්,අධ්‍යපනේ අගය විඳීමට නොව විකුණන් කෑම පාලක ප්‍රතිපත්තිය කරගත් වත්මන් පාලකයන්ගේත් වෙනසක් ඔබට පෙනේද? විශ්ව විද්‍යාලවල අධිකාරී බලය දේශපාලකයන්ගේ හස්තයට පවරන රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පණත සමඟ නීතිගත වීමට නියමිත බව ඔබට සංවේගයෙන් කියමු.

නිදහසින් පසු කුමන රාජ්‍යය නායකයාගේ දරුවාද විශ්ව විද්‍යාලයකට ඇතුලත්ව උපාධි ලැබුවේ.ඉතින් ඔවුන් පසුපස රටේ අනාගතය කනත්තට දැක්කීම කොතරම් දුරට සාධාරණ ද? ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ,මේ පසුබිමේ සිට අපි අහනවා ඇත්තට අපිට පිස්සුද?එහෙම නැත්නම් පිස්සු කියන්නේ වියරුවෙන් වගේ නිදහස අධ්‍යාපනය විකුණන් කන්නට උත්සහ කරන පරිපාලනයටද?කෙසේ වෙතත් සරසවි ශිෂ්‍යයා ඔය කියන යතාර්ථය වෙනුවෙන් පාරට බසීවි.පිකට් කරාවි.ලේ දහඩිය හලාවි.ඔබට හිතෙනවානම් ඒ හෙළු ලේ කඳුලු දහඩිය සාධාරණයි කියලා හෙට දිනයේ අපි කවුරුහරි පාර අයිනේ කඳුළු ගෑස් වැදිලා බැටන් පොළු පාරක් කාලා ලේ පෙරාගෙන වැටිලා හිටියොත් සමච්චලේට අපට හිනා නොවී අපට වතුර ටිකක් දිලා යන්න අමතක කරන්න එපා.ඒ අපිට ඇති..