වත්සලාට ඇත්තටම මොකද උනේ?
රුහුණ විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ලෙස අප මෙම දැනුවත් කිරීම සඳහා යොමු කිරීමට හේතු වූයේ පසුගිය දින කිහිපය තුළ අප සරසවිය පිළිබඳ ඉතා වැරදි චිත‍්‍රයක් නිර්මාණය කිරීම සඳහා ක‍්‍රියාත්මක වූ කුමන්ත‍්‍රණකාරී ප‍්‍රයෝගයන් පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමටය.
ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් නිරතුරුවම පෙරමුණේ සටන් කරන ජනමාධ්‍ය ආයතනයක් ලෙස ඔබ මාධ්‍ය හරහා මෙම දැනුවත් කිරීමට සාධාරණ අවස්ථාවක් සලසා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.ඒ අන් කිසිවක් නිසා නොව ඔබගේ අතීත මාධ්‍ය භාවිතාව පිළිබඳව ඇති විශ්වාසයෙන් මිස මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ මාධ්‍ය නිදහස පිළිබඳ ඇති විශ්වාසයෙන් නොවන බව සඳහන් කළ යුතුමය.
විශ්වවිද්‍යාල සිසුන් ලෙස අද අප ගත කරමින් සිටින්නේ ඉතිහාසයේ එක්තරා තීරණාත්මක නිමේෂයකි.වඩා නිවැරදිව කිවහොත් මෙය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ අනාගතය පිළිබඳ තීරණාත්මක නිමේෂයකි. මෙය ආශ්චර්යමත් සංවර්ධනයක් වනවායැයි පාරම්බෑව ද 42% ක් පමණ වන දිනකට ඩොලර් 02 කට අඩු ආදායම් ලබන බහුතර ජනතාවගේ දරුවන්ට ඉගෙනීමට ඇති අවසන් අවස්ථාවත් අහිමි කරමින් යන තීරණාත්මක නිමේෂයකි.
අප සරසවියේ සිසුවියක් වන බලපිටියේ වත්සලා ද සිල්වා සොයුරිය පිළිබඳ මේ දිනවල ගොඩ නැගෙමින් පවතින කතාබහ අප සාකච්ජා කළ යුතු වන්නේ මෙවන් සන්දර්භයක් තුළය.එලෙස සංයුක්තව මෙම සිදුවීම කියවීමකට ලක් නොකර වියුක්තව නවක වදයක් ලෙස මෙය අර්ථ දැක්වීමට දරන නරුම ආණ්ඩු උවමනාව අවසානයේ පාර කපන්නේ ජනවාරී මාසයේ කළ එළි දැක්වීමට විළිලන පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි සිසු ජන විරෝධතාවයන් මර්දනයට මිස අන් කිසිවකට නොවන බව පැහැදිලිය.
අප ඉතා නිවැරදිව වත්සලා සොයුරිය සම්බන්ධ මෙම කතාව ආරම්භ කළ හොත් අප එය පටන් ගත යුතු වන්නේ දෙසැම්බර් 21 දින සිදුවූවා යැයි කියන අනතුරකින් ඇය මාතර රෝහලට ඇතුලත් කිරීමේ සිදු වීමෙන් නොව පසුගිය ජුනි මාසයේ දි සරසවි නවක සිසු සිසුවියන්ට ආණ්ඩුවෙන් ලබා දුන් බලහත්කාරී නායකත්ව (හමුදා) පුහුණුව සමගිනි.
අදාළ පුහුණුවේ දි දෙවන කණ්ඩායමේ පුහුණු වීම් ආරම්භ වන්නේ ජුනි 16 වනදාය. අපගේ කතා නායිකාව මහනුවර බූවැලිකඩ සංඥා පුහුණු පාසලට අනියුක්ත වන්නේ මෙම ඊනියා නායකත්ව පුහුණුව සඳහාය.එතැන් සිට දින තුනකට පසු එනම් ජූනි 19 වන දින යකඩ බටයක එල්ලී ව්‍යායාම සිදු කිරීමට යාමේදි එම බටය කඩා වැටී ඇයගේ කොඳු ඇට පේළියට හානි සිදු වේ.නමුත් එම අවස්ථාවේදි මෙයට වගකීමට කවුරුත් සිටියේ නැත.රජයේ ඇමතිවරු ඇය බැලීමට පැමිණියේ නැත.අද මහත් අනුකම්පාවෙන් වත්සලා ගැන කතා කරන කිසිවෙක් එදා මෙම ඊනියා හමුදා පුහුණුවේදි සිදු වූ සිදුවීම ගැන ප‍්‍රශ්න කලේ ද නැත.
නමුත් සුපුරුදු ලෙසම රුහුණ සරසවියේ සුසන්ත බණ්ඩාර අප සොයුරා සම්බන්ධ සිදුවීමේදි සිදුවූවා මෙන්ම මෙහිදී ද වත්සලාගේ දෙමාපියන් රවටා මෙම සිදුවීම රටින් වසන් කිරීමට පාලකයන් සමත් විය. ඇයට වන්දි ගෙවන බවට පොරොන්දු විය. නමුත් ඒ කිසිවක් සිදු නොවීය. ඇය සරසවියට පිවිසෙන්නේද මෙකී ආබාධයන් නිට්ටාවට සුව වී නොවේ. ඇය සරසවියට පිවිසීමට දින දෙකකට පමණ පෙරදී ද මේ සඳහා බෙහෙත් ලබා ගෙන ඇත. ඇයම මාධ්‍යයට පවසන පරිදි මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට ඇය යථා තත්ත්වයට පත්ව සිටියේ නැත. නොමැති නම් ආපනශාලාවේ සිදු වූවායැයි කියන වැටීමකින් සිහි නැති වීමට තරම් දෙයක් සිදු විය නොහැක.මේ කියන ආකාරයේ අමානුෂික සිදුවීමක් එම අවස්ථාවේ සිදු වූවා නම් අඩුම තරමේ එහි සිටි තවත් සිසුන් තුන් හතර දෙනෙකුවත් තුවාල ලබනු ඇත. ඒ නිසා පැහැදිලිය. කෙසේ කීවත් වත්සලාට මෙසේ අද රෝහල් ඇඳක ලැගීමට සිදුව ඇත්තේ විශ්වවිද්‍යාලයේ දි සිදු වූ සිදුවීමක් නිසා නොව හමුදා පුහුණුවේ දි ඇති වූ ආබාධයට නිසි ප‍්‍රතිකාර නොලැබීම නිසා සිදු වූ දෙයක් බවයි.
සරසවිය තුළ මෙවැනි ආබාධ නොව උපතින්ම ඇවිදිය නොහැකි, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, විවිධ ආබාධ ඇති සහෝදර සහෝදරියන් සිටී. සමහර එවැනි සිසුන් සරසවියේ සිට කිලෝමීටර ගණනක් ඈතින් ඇති නේවාසිකාගාර වෙත යන විට බස් නැවතුම දක්වා ගෙන එන්නේත් බසයෙන් නේවාසිකාගාරය වෙත ගෙන යන්නේත් සහෝදර සිසුන්ගේ උරමතිනි. නේවාසිකාගාර තුළ වැසිකිලි, කැසිකිලි යන අවස්ථාවල දී පවා හා සෑම අධ්‍යයන කටයුත්තකදීම උපකාර කරන්නේ සහෝදර සිසු සිසුවියන්ය. අප අසන්නේ සාමාන්‍ය සමාජයේ එවැනි සහෝදරත්වයක් තිබෙන්නේ කොතැන ද? එවැනි මානුෂීය බැඳීම් ඇති තැනෙක මෙවැනි අමානුෂික වද බන්ධන කිසිවිටෙකත් සිදු නොවේ. එය පැහැදිලිය. ඒ නිසා මෙම සිදුවීම මූලික කොට ගෙන ආණ්ඩුව විසින් ගොඩ නැගීමට යන සරසවි සිසුන් පිළිබඳ දුර්මතය පිළිගැනීමට මෙරට ජනතාව සූදානම් නැති බව අපට විශ්වාසය. කෙසේ නමුත් අද මෙම සිදුවීම පාදක කොට අප සරසවිය තුළ නැති නවක වදයක් පිළිබඳ රකුසෙකුගේ රූපයක් මවා පා සරසවියටත් සිසුන්ටත් මඩ ගැසීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආණ්ඩුව මැදිහත් වී ක‍්‍රියාත්මක කරමින් පවතී. මෙය කොතරම් කුමන්ත‍්‍රණකාරී ද, නරුම ද යත් අද සරසවියේ කිසිම සිසුවෙකුට හෝ සිසුවියකට ඇය බැලීමටවත් යාමට නොහැකිය. ඒ අන් කිසිවක් නිසා නොව එසේ යන සිසුන් මෙම සිදුවීමට පටලවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට සූදානම් කර ඇති නිසාය.පසුගිය සුසන්ත බණ්ඩාර සිසුවා සම්බන්ධ සිදුවීමෙදී ද එයට ඈඳා ගනු ලැබුවේ සුසන්ත සොයුරා රෝහල්ගත කර සිටියදී මනුස්සකම නිසා ඔහු බැලීමට නිතරම රෝහලට ගිය සිසුවාය. ඒ නිසා දැන් සරසවියේ පවතින තත්ත්වය වන්නේ කවුරුන් හෝ සරසවිය තුළ මැරී වැටී සිටියත් කිසිවෙකුට එයට ලංවීමට නොහැකි වාතාවරණයකි. මක් නිසා ද යත් එසේ උපකාර කිරීමට යන අයට සිදු වන්නේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුනා වැනි දෙයක් නිසාය.
විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ ද සාමාන්‍ය සමාජයේ ජීවත් වූ සිසුන්ය. අද පුවත්පතක් ගත් විට සාමාන්‍ය සමාජයේ දී මිනිසුන් තිරිසනුන් ලෙස කපා කොටා මරා දැමීම්,තාත්තලා විසින් දූවරු දූෂණය කිරීම් වැනි සිදුවීම් අසන්නට, දකින්නට ලැබේ. අපට ඇසීමට ඇත්තේත් ඒවා සිදුවන්නේත් සමාජයේ දී කවුරුන් විසින් හෝ කරනු ලබන නවක වදයක් නිසාද යන්නයි.
විශ්වවිද්‍යාල තුළ ඇත්තේ උප සංස්කෘතියකි. එකී උප සංස්කෘතිය තුළ ද නිශේධනීය ලක්ෂණ ඇති බව අප ද පිළිගනිමු. නවක වදය යනු එවැන්නකි. නමුත් වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එය ප‍්‍රතික්ෂේප වෙමින් යන ප‍්‍රවණතාවයකි. එය සරසවි සිසුන් තුළ ප‍්‍රතික්ෂේප වන්නේ උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ වික‍්‍රමයක් නිසා නොව සිසුන් විසින්ම ඒ පිළිබඳව නිරතුරුවම කෙරෙන ඇගයීම නිසාය. සරසවිය තුළ කිසිම දිනෙක සහෝදර සිසුවෙකු විසින් සහෝදර සිසුවියක් දූෂණය කළ බව වැනි සිදුවීම් වාර්තා නොවන්නේ මෙකී ඇගයීමක් සහිත උප සංස්කෘතියක් ඒ තුළ පවතින නිසාය. මෙරට සකළවිධ සටන් කරන බලවේග මර්ධනයෙන් තළා පෙළා දමද්දී සුවහසක් දෙමාවුපියන්ගේ දරුවන් වෙනුවෙන් ඔවුන්ට අයිති අධ්‍යාපන අයිතිය විකුණන් කෑමට එරෙහිව දහස් ගණනක් සිසුන්ගේ පන්ති තහනම් කරද්දී අතීතයේ දී මරා දමද්දීත් පැහැර ගෙන යද්දීත් නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ යුතුකම වෙනුවෙන් අදත් පාරට බහින්නේ ඒ නිසාය.
මෙසේ අසත්‍ය කඩතුරාවෙන් වසා දැමීමට යන සරසවි සිසුවාගේ සමාජ කාර්යභාරයත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සුරක්ෂිතභාවයත්, නිදහස් අධ්‍යාපන අයිතියත් වෙනුවෙන් මෙවැනි මඩ ප‍්‍රචාරයන්ට එරෙහිව දැනුවත් වන ලෙස අප මෙරට ආදරණීය දෙමාවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමු.